අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවෙයි

ශ්‍රී ලංකා පොලීසියේ 36 වන පොලිස්පති ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා අද දින (2024 අප්‍රේල් 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි අභිනව පොලිස්පති, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව, නාවික හමුදාධිපති විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත හඳුන්වා දීම සිදු කෙරිණි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා පොලීසියේ 36 වන පොලිස්පති ලෙස 2024 පෙබරවාරි මස 26 වන දින පත්වීමෙන් පසුව ඔහු නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ පොලිස්පති අතර ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ පැවති සුහද පිළිසඳරකින් අනතුරුව, නව ධූරයේ ඉදිරි කටයුතු සඳහා නාවික හමුදාධිපති විසින් සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ පොලිස්පති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.