නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 32 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා අද දින (2024 අප්‍රේල් 12) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1991 වසරේදී 21 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් මහේෂ් ද සිල්වා, සිය වසර 32 කට අධික සේවා කාලය තුළ විවිධ ආයතන සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (දේශීය පුහුණු), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුහුණු, නාවික අණභාර නිලධාරි (හම්බන්තොට), නියෝජ්‍ය ආඥාපති දකුණු නාවික පෙදෙස, නාවික අණභාර නිලධාරි (වැලිසර), නියෝජ්‍ය ආඥාපති නැගෙනහිර නාවික පෙදෙස, අධ්‍යක්‍ෂ ජෙනරාල් (නාවික හා ගුවන් මෙහෙයුම්) සහ ආඥාපති ගිණිකොන නාවික පෙදෙස යන ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.