ඉන්දියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඉන්දු-ඇමෙරිකානු සංග්‍රාමික විද්‍යාල සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහභාගී වෙයි

ඉන්දීය සහ ඇමෙරිකානු නාවික සංග්‍රාමික විද්‍යාලයන්ගේ සම සත්කාරකත්වයෙන්, ඉන්දියානු නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ඉන්දු - ඇමෙරිකානු සංග්‍රාමික විද්‍යාල සම්මන්ත්‍රණය (Indo – American Naval War College Conference), 2024 අප්‍රේල් මස 16 වන දින සිට 18 වන දින දක්වා ඉන්දියාවේ ගෝව ප්‍රාන්තයේ පිහිටි ඉන්දියානු නාවික හමුදා සංග්‍රාමික විද්‍යාලයේදී පැවැත්වූනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.

ගෝලීය සමුද්‍රීය හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය (Strengthening Global Maritime Partnership) සඳහා, ඔස්ට්‍රේලියාව, බංගලාදේශය, බ්‍රසීලය, කොමොරූස්, ෆීජි, ඉන්දියාව, ජපානය, මාලදිවයින, මුරුසිය, පිලිපීනය, ෂිශේල්ස්, සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, ටොන්ගා, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රාජ්‍යයන් 16 ක් නියෝජනය කරමින් නාවික හමුදා ප්‍රධානීන්, සමුද්‍රීය ආරක්‍ෂක බලකා ප්‍රධානීන් මෙන්ම සමුද්‍රීය ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ විද්වතුන් රැසක් සහභාගි වී සිටියහ. මෙම සම්මන්ත්‍රණයේ සම සත්කාරකත්වය දරණ ඉන්දීය නාවික සංග්‍රාමික විද්‍යාලය නියෝජනය කරමින් එහි ආඥාපති, රියර් අද්මිරාල් අර්ජුන් දේව් නායර් (Rear Admiral Arjun Dev Nair, Commandant, Naval War College, GOA) ද, ඇමෙරිකානු නාවික සංග්‍රාමික විද්‍යාලය නියෝජනය කරමින් එහි සභාපති, රියර් අද්මිරාල් පීටර් ඒ. ගාවින් (Rear Admiral Peter A. Garvin, U.S. N President, U.S. Naval War College) ද ඉන්දු - ඇමෙරිකානු සංග්‍රාමික විද්‍යාල සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ අතර, සම්මන්ත්‍රණයේ සභාපති ලෙස ඇමෙරිකා එක්සත් ජනපද නාවික සංග්‍රාමික විද්‍යාලයේ අන්තර්ජාතික වැඩසටහන් අධ්‍යනාංශයේ පීඨාධිපති, මහාචාර්යය තෝමස් ඊ. මෑන්ගෝල්ඩ් (Professor Thomas E. MANGOLD, JR. Dean of International Programs, U.S. Naval War College ) කටයුතු කෙරිණි.

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයන් ලෙස ඉන්දීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් ආර්. හරිකුමාර් (Admiral R. Harikumar), ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානයේ, අද්මිරාල් සැමුඑල් ජේ. පැපරෝ(Admiral Samuel J. Paparo), ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය නාවික හමුදා ප්‍රධානි, වයිස් අද්මිරාල් දිනේෂ් කේ. ත්‍රීපති (Vice Admiral Dinesh K.Thripathi) සහ ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් වී. ශ්‍රීනිවාස් (Vice Admiral V. Srinivas ) විසින් එහිදී දේශන පැවැත්වීම සිදුකෙරිණි.

මෙම සම්මන්ත්‍රණයේදී ඉන්දීය හා ඉන්දු ශාන්තිකර කලාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග ඇතුළු නීති විරෝධී කටයුතු සාමූහිකව අභිබවනය කිරීම සඳහා පාර්ශවකරුවන් හට අදහස් හුවමාරු කර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් උදා කර තිබූ අතර, සම්මන්ත්‍රණයේ සැසි තුලදී, "The Rules-Based International Order", "Confidence Building Measures In The Indo-Pacific Region", "Impact Of Climate Change In Maritime Domain: Challenges and Way Ahead", "Naval Developments in the Indo-Pacific", "Illegal, Unreported and Unregulated Fishing: Cooperation to Enhance Fisheries Enforcement and Build Trust", "Defence Critical Technologies & Collaborative Opportunities", "Women, Peace and Security: progress in the Indo - Pacific Region" සහ "Retrospective and Perspective: the Belt and Road Initiative at Ten" යන තේමාවන්ට අදාලව ඉදිරිපත්කිරීම් මඟින් පාර්ශ්වකරුවන් අතර දැනුම, අත්දැකීම් සහ අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරිණි.

එමෙන්ම, මෙම සම්මන්ත්‍රණයට සමගාමීව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සම්මන්ත්‍රණයට සහභාගී වූ පාර්ශවකරුවන් සමඟ ද්වීපාර්ශ්වීය සාකච්ඡා සඳහා ද සහභාගී වී සමුද්‍රීය ආරක්‍ෂාව හා සබැඳි වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම සිදුකෙරුණු අතර, එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරු කරගැනීම ද සිදුකෙරිණි.

තවද, කලාපීය සහ කලාපීය නොවන සමුද්‍රීය පාර්ශ්වකරුවන් සහභාගි වන මෙවැනි සම්මන්ත්‍රණ සඳහා සහභාගීවීම මඟින්, සාගර කලාපයේ සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය තර්ජන ඇතුළු නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීම සහ නිදහස් මුහුදු ගමනාගමනය ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන සාමූහික මෙහෙයුම් සඳහා ඉදිරියේදී වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස දායක වීමට හැකිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත හිමිවනු ඇත.

ජායාරුප අනුග්‍රහය - ඉන්දීය නාවික හමුදාව