‘Navy Cup Sailing Regatta - 2024’ ගාලු මුව‍දොර මුහුදු තීරයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

‘Navy Cup Sailing Regatta - 2024’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2024 අප්‍රේල් මස 26 සහ 27 දෙදින ගාලු මුවදොර මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම 2024 අප්‍රේල් මස 27 දින ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ‍ගේ සහභාගීත්වයෙන් එම වෙරළ තීරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka – YASL) අධීක්‍ෂණය යටතේ Optimist Class, ILCA 4 Class, ILCA 6 Class, ILCA 7 Class, Wind Surfing, Enterprise Class සහ GP 14 Class වශයෙන් කාණ්ඩ හතක් (07) යටතේ පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය, කොළඹ රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, කාන්තා විද්‍යාලය, Benthota Wind Surfing Club, Ceylon Motor Yacht Club, Future Fibres, Royal Colombo Yacht Club, Ruhunu Sailing ක්‍රීඩා සමාජ මෙන්ම, ප්‍රථමවතාවට උතුරු පළාත නියෝජනය කරමින් පාසල් ක්‍රීඩා සමාජයක් වන North Sail ක්‍රීඩා සමාජය මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.

තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 66 දෙනෙකු සහ රුවල් යාත්‍රා 54 ක් එක්වූ අතර, Optimist Class කාණ්ඩයේ රන් පදක්කම කොළඹ රාජකීය විද්‍යාලයේ කෙවන් ද කොස්තා විසින්ද, රිදී පදක්කම කොළඹ රාජකීය විද්‍යාලයේ Luqmaan Aneeq විසින් සහ එහි ලෝකඩ පදක්කම එම විද්‍යාලයේම බිනල් පෙරේරා විසින් ද දිනාගන්නා ලදි.

ILCA 4 කාණ්ඩයේ රන් පදක්කම කොළඹ රාජකීය විද්‍යාලයේ Yusef Hazar විසින්ද, රිදී පදක්කම කාන්තා විද්‍යාලයේ ක්යාෂා සමරක්කොඩි විසින් සහ ලෝකඩ පදක්කම කාන්තා විද්‍යාලයේ ක්යෝෂි සමරක්කොඩි විසින්ද දිනාගන්නා ලදි.

ILCA 6 කාණ්ඩයේ රන් පදක්කම කාන්තා විද්‍යාලයේ තාලියා විසින්ද, රිදී පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ සුළු නිලධාරී පීඩීඩීඑස් රාජපක්‍ෂ විසින් සහ ලෝකඩ පදක්කම කාන්තා විද්‍යාලයේ තරිනී ද සිල්වා විසින්ද දිනාගන්නා ලදි.

ILCA 7 කාණ්ඩයේ රන් පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ නායක පාබල යූඩී රාජපක්‍ෂ විසින්ද, රිදී පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ නායක නැවි ජේඑස් සෙනවිරත්න විසින් සහ ලෝකඩ පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ නායක ඉංජිනේරු කාර්මික ටීඩීඑස් පෙරේරා විසින් දිනාගන්නා ලදි.

Wind Surfing කාණ්ඩයේ රන් පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ නායක නැවි කේපීපී ගුණවර්ධන විසින්ද, එහි රිදී පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ සුළු නිලධාරි ඩබ්ඒඑස් වීරතුංග විසින් සහ ලෝකඩ පදක්කම Benthota Wind Surfing Club නියෝජනය කල ෂෙරාන් විසින් දිනාගන්නා ලදි.

Enterprise කාණ්ඩයේ රන් පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ නායක නැවි කේඑස්කේ ද සිල්වා සහ නායක නැවි එල්ඒඑම් ගුණතිලක විසින්ද, එහි රිදී පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ බලනැවි යූජීඩී මදුශංක සහ බලකාන්තා නැවි එච්කේකේඑම් නෝනිස් විසින්ද, ලෝකඩ පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ කාන්තා නායක නැවි එම්ඩීඑම් සුභාෂිණී සහ බලකාන්තා නැවි ඩබ්පීටීඑල් කරුණාරත්න විසින් දිනාගන්නා ලදි.

GP 14 කාණ්ඩයේ රන් පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ නායක නැවි අත්තනායක සහ නායක නැවි ඒඑස්කේ ද සොයිසා විසින්ද, එහි රිදී පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ නායක පාබල ජේඑච්එම්පීජේ ජයපද්ම සහ නායක නැවි එස්පීපීඑන් කුමාර විසින්ද, ලෝකඩ පදක්කම Ceylon Motor Yacht Club නියෝජනය කල ජොහාන් සහ නැන්දියා විසින් දිනාගන්නා ලදි.

Single Handed Open Championship රන් පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ සුළු නිලධාරි පීඩීඩීඑස් රාජපක්‍ෂ විසින්ද, එහි රිදී පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ සුළු නිලධාරී ඩබ්ඒඑස් වීරතුංග විසින් සහ ලෝකඩ පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ නායක නැවි ජේඑස් සෙනවිරත්න විසින් දිනාගන්නා ලදි.

Double Handed Open Championship (Enterprise Class) රන් පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ නායක නැවි ඒඑම්ජේපී අත්තනායක සහ නායක නැවි ඒඑස්කේ ද සිල්වා විසින්ද, එහි රිදී පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ නායක පාබල ජේඑච්එම්පීජේ ජයපද්ම සහ නායක නැවි එස්පීපීඑන් කුමාර විසින් සහ ලෝකඩ පදක්කම නාවික හමුදා රුවල් සංචිතයේ නායක ඉංජිනේරු කාර්මික ටීඩීඑස් පෙරේරා සහ නායක නැවි ඩීජීඑල්පී පියවංශ විසින් දිනාගත් අතර, මෙම තරඟාවලියේ සමස්ත ශූරතාවය සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය ශ්‍රී ලංකා නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතය විසින් හිමි කර ගැනීමට සමත් විය.

මෙහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, රුවල් ඔරු තරඟාවලිය සඳහා ප්‍රවීණ ක්‍රීඩකයන් මෙන්ම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පාසල් දරුවන් ඉතාමත් උද්යෝගයෙන් යුතුව සහභාගී වීම පිලිබඳව සිය සතුට ප්‍රකාශ කරමින්, ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත සුබපැතුම් පිරිනැමීම සිදුකෙරිණි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, රුවල් ඔරු තරඟාවලි ප්‍රචලිත කිරීම සඳහා නාවික හමුදාව විශේෂ දායකත්වයක් දක්වන බවත්, එමඟින් ඉදිරියේදී ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ මව් බිමට දිනා දීමට හැකිවනු ඇති බවත් පවසන ලදී. මව් බිම වෙනුවෙන් දිවිපිදු හිටපු නාවික හමුදාධිපතිවරයෙක් වන අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණය කිරීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම රුවල් යාත්‍රා තරඟාවලිය සඳහා, එම අභියෝගතා කුසලානය වාර්ෂිකව ලබාදෙමින් මොනිකා ප්‍රනාන්දු මැතිනිය විසින් සිදුකරනු ලබන දායකත්වය කෘතවේදීව සිහිපත් කිරීමටද එහිදී නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා දිවංගත අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු ගේ මැතිණිය, මොනිකා ප්‍රනාන්දු මහත්මිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ නිලධාරීන්, නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්,ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් පිරිසක් සහ මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පවුල්වල සාමාජිකයන්ද සහභාගී වී සිටියහ.