නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් සිසිර දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් සිසිර දිසානායක අද දින (2024 මැයි 05) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන් දිනය යෙදී ඇති රියර් අද්මිරාල් සිසිර දිසානායක වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් සිසිර දිසානායක වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

1990 වසරේදී 03 වන නාවික පාබල බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් සිසිර දිසානායක, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ විවිධ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත. තවද, ඔහු විධාන ‍ගොඩබිම් මෙහෙයුම් නිලධාරි (උතුරු මැද), ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරි (කොළඹ වරාය), විධාන ‍ගොඩබිම් මෙහෙයුම් නිලධාරි (බටහිර), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පාබල, නාවික අණභාර නිලධාරි (ත්‍රිකුණාමලය උතුර), නාවික අණභාර නිලධාරි (දූපත්), අධ්‍යක්‍ෂ නාවික පාබල සහ ආඥාපති නාවික පාබල යන ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.