නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නාවිකයින් වෙනුවෙන් එක් දින වැඩමුළුවක් සාර්ථකව පවත්වයි

නාවික හමුදාවේ සියළුම අංශයන්ගේ ජ්‍යේෂ්ඨතම නාවිකයින් (Branch Head Sailors), ආයතන සහ නෞකාවන්ගේ විනය පාලකවරුන්, ජ්‍යේෂ්ඨ නාවික නිවාස සභාපතිවරුන්, පුහුණු පාසල් ප්‍රධාන සරඹ උපදේශකයින් සහ ප්‍රධාන උපදේශකයින් වෙනුවෙන් එක් දින වැඩමුළුවක් 2024 මැයි මස 03 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

2024 ජනවාරි මස 24 වන දින සිට 2024 මාර්තු මස 12 වන දින දක්වා බටහිර සහ නැගෙනහිර නාවික විධානයන් තුළ නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MCPON) විසින් සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවාරයන්හිදී නිරීක්‍ෂණය වූ කරුණු සැලකිල්ලට ගනිමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත ‍පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල දෙපාර්තමේන්තු‍ව මඟින් මෙම වැඩමුළුව සංවිධානය කිරීමට කටයුතු කෙරිණි.

එහිදී, ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම පිළිබඳව සහ රටෙහි පවතින වර්තමාන තත්වය තුල නාවික හමුදාව මුහුණ දෙන ගැටළු හා ඒවාට මුහුණ දෙන ආකාරය පිලිබඳව දැනුවත් කිරීමේ දේශණය නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල විසින් සිදු කෙරිණි. මීට අමතරව නාවිකයින් විසින් සිදු කරනු ලබන විනය විරෝධී ක්‍රියා, නාවිකයින් බඳවාගැනීම්, ආයතන තුල පිරිස් බලය කලමනාකරණය, උසස් කිරීම්, නාවික හමුදාවේ සුභසාධක පහසුකම්, ලඝුනඩු විභාග පැවැත්වීම, අංශ ක්‍රමය විධිමත්ව පවත්වා ගැනීම යන තේමාවන් යටතේ ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් දේශන පැවැත්වු අතර, එම ජ්‍යේෂ්ඨ නාවිකයින් හට අදාල රාජකාරී සිදු කිරීමේදි මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි. එමෙන්ම, නාවිකයන්ගේ විනය පවත්වාගෙන යාමේ ඇති වැදගත්කම පිලිබඳ දේශනය නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරි (MCPON) ඩබ්එම්ජීඒ කුමාර විසින් සිදු කෙරිණි.