පාකිස්තාන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන පාකිස්තාන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත Air Cdre Faisal Fazal Muhammad Khan ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක්, 2024 මැයි මස 07 වන දින නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී එම නිලධාරී කණ්ඩායම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක හමු විය.

පාකිස්තාන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් දහසය දෙනෙක් (16) ගෙන් සමන්විත මෙම නිලධාරී කණ්ඩායම, 2024 මැයි මස 05 වන දින සිට 10 වන දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරත වෙයි.

ඒ අනුව, මෙම නිලධාරී කණ්ඩායම විසින් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් සිදු කල දේශනයක් සඳහාද පාකිස්තාන ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නිලධාරීන් පිරිස සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ ‍කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් Muhammad Farooq ද සහභාගී විය.