මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නිලධාරීන් කණ්ඩායමක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන Rear Admiral Hu Gangfeng ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කණ්ඩායමක්, අද දින (2024 ජුනි 18) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී එම නිලධාරී කණ්ඩායම් ප්‍රධානි සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි.

මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් හතළිස් එක් දෙනෙක් (41) ගෙන් සමන්විත මෙම නිලධාරී කණ්ඩායම, 2024 ජුනි මස 16 වන දින සිට 19 වන දින දක්වා ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරත වෙයි.

ඒ අනුව, මෙම නිලධාරී කණ්ඩායම් ප්‍රධානි Rear Admiral Hu Gangfeng විසින් නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති විසින් සිදු කල දේශනයක් සඳහාද මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නිලධාරීන් පිරිස සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, නාවික හමුදාධිපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකාවේ මහජන චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක Senior Colonel Zhou Bo ද සහභාගී විය.