ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත් සමූහ ප්‍රධාන සුළු නිලධාරී පීඩීපී රත්නායක යන ජ්‍යේෂ්ඨ නාවිකයාගේ අවමංගල්‍යය උත්සවය ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ උත්තමාචාර සහිතව සිදු කෙරේ‍

2024 ජුනි මස 25 වන දින යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී ජීවිතක්ෂයට පත් සමූහ ප්‍රධාන සුළු නිලධාරී පීඩීපී රත්නායක යන ජ්‍යේෂ්ඨ නාවිකයාගේ අවමංගල්‍යය උත්සවය, 2024 ජුනි මස 27 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ උත්තමාචාර සහිතව ඉබ්බාගමුව, හිපව්ව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ධීවර අමාත්‍ය ගරු ඩග්ලස් දේවානන්දා මහතා සහ උතුරු පළාත් ධීවර සංගම් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි මාලා ළමාහේවා මැතිණිය, සමූහ ප්‍රධාන සුළු නිලධාරී පීඩීපී රත්නායක යන ජ්‍යේෂ්ඨ නාවිකයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම, 2024 ජූනි මස 26 දින සිදුකෙරිණි. මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ගෞරවණීය මහා සංඝ රත්නය, නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින්, ජ්‍යේෂ්ඨ නාවිකයාගේ පවුලේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම අවස්ථාවට සහභාගී වූ උතුරේ ධීවර සංගම් නියෝජිතයින්, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව සිදුකල මෙහෙයුමකදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් සමූහ ප්‍රධාන සුළු නිලධාරී පීඩීපී රත්නායක යන ජ්‍යේෂ්ඨ නාවිකයාගේ පවුලේ ඥාතීන් වෙත ඔවුන්ගේ සංවේගය පල කරමින්, ඉන්දීය ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව තුල සිදුකරන අනවසර ධීවර කටයුතු නැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ජීවිත පරදුවට තබා සිදුකරන අඛණ්ඩ දායකත්වය සඳහා උතුරේ ධීවර ප්‍රජාවගේ ගෞරවය පිරිනමන බවත් පවසන ලදී.