නාවික හමුදා සුනඛ සංචිතය සඳහා මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ විශේෂ පුහුණු සැසියක්

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ (National Dangerous Drugs Control Board - NDDCB)සහ පොලිස් නිල සුනඛ පුහුණු අංශයේ සම්පත් දායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුනඛ සංචිතය සහ විශේෂ යාත්‍රා බලඝණයේ සුනඛ සංචිතය සඳහා මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ විශේෂ පුහුණු සැසියක් 2024 ජුලි මස 01 වන දින සිට 05 වන දින දක්වා කොළඹ වරායේ බටහිර නාවික විධාන මූලස්ථානයේදී සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්ගේ සහ පොලිස් නිල සුනඛ පුහුණු අංශයේ උපදේශකවරුන් ගේ ශිල්පීය දැනුම සහ පුහුණු ක්‍රමවේද උපයෝගී කරගනිමින් සිදුකෙරුණු මෙම පුහුණු සැසියේදී, නාවික හමුදා සුනඛ සංචිතයේ සහ විශේෂ යාත්‍රා බලඝණ සුනඛ සංචිතයේ සුනඛයින් හට ස්වභාවික මත්ද්‍රව්‍ය හඳුනාගැනීමට සලස්වා, එම මත්ද්‍රව්‍ය නෞකා යාත්‍රා සහ ගොඩනැගිලි තුල සූක්‍ෂම ලෙස සඟවා තිබියදී සොයා ගන්නා ආකාරය පිළිබඳ විද්‍යානුකූල පුහුණුවක් ලබාදීම සිදුකෙරිණි.

එමෙන්ම, මත්ද්‍රව්‍ය නිවැරදිව හඳුනාගැනීම සඳහා සුනඛ හසුරුවන්නන් විසින් සුනඛයින් නිසිලෙස හැසිර වියයුතු ආකාරය පිළිබදවද එහිදී න්‍යායික හා ප්‍රායෝගික දැනුමක් ලබාදීම, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහ පොලිස් නිල සුනඛ පුහුණු අංශයේ ප්‍රවීණ උපදේශකයින් විසින් සිදුකෙරුණු අතර, ඒ සම්බන්ධ අත්දැකීම් හුවමාරු කරගැනීමද එහිදී සිදුකෙරිණි.

තවද, මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සුනඛ සංචිතයේ සහ විශේෂ යාත්‍රා බලඝණ සුනඛ සංචිතයේ සුනඛයින් මෙලෙස විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව පුහුණු කරවිම මඟින්, නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් තුලදී සිදුකෙරෙන සැකකටයුතු ගොඩනැගිලි, ස්ථාන නෞකා සහ යාත්‍රාවන්ගේ සූක්‍ෂම පරික්‍ෂාවන් සඳහා, නාවික හමුදා සුනඛ සංචිතයේ දායකත්වය ඉදිරියේදී ඉතා ඵලදායි ලෙස යොදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.