කතරගම දක්වා පාද යාත්‍රාව සිදුකරන බැතිමතුන් සඳහා නාවික හමුදා සහය

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට, කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්‍ය පහසුකම් සැලසීම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජුනි මස 30 වන දින ආරම්භ කෙරුණු අතර, 2024 ජුලි මස 03 වන දින එම පහසුකම් හා සේවාවන් නිරීක්ෂණය කල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, කතරගම දක්වා පාද යාත්‍රාව සඳහා සහභාගී විය.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ගිණිකොන නාවික විධානයේ ආඥාපති ගේ අධික්ෂණය යටතේ කුමන ජාතික වන උද්‍යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී බැතිමතුන් හට අවශ්‍ය වෛද්‍ය පහසුකම්, ජිවීතාරක්ෂක සේවාවන් සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය පහසුකම් සැපයීම, ගිණිකොන නාවික විධානය මඟින් ප්‍රදේශයේ අනෙකු රාජ්‍ය ආයතන හා සම්බන්ධීකරණය වෙමින් සිදු කරනු ලබයි. විශේෂයෙන් බැතිමතුන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා දකුණු නාවික විධානය මඟින් අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරිණි.

බැතිමතුන් වෙනුවෙන් නාවික හමුදාව මඟින් සපයනු ලබන එම පහසුකම් හා සේවාවන් නිරීක්ෂණය කල නාවික හමුදාධිපති, ඔකඳ ප්‍රදේශයේ පිහිටි කතරගම දේවාලය වෙත ගොස් ආගමික වතාවත් සිදුකර පාද යාත්‍රාවට එක් විය. අනතුරුව, 2024 ජුලි මස 05 වන දින කතරගම දක්වා පැමිණි නාවික හමුදාධිපති කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගනිමින් ආගමික වතාවත් සිදු කෙරිණි.

එමෙන්ම, රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණ ආශීර්වාද ලබාගත් නාවික හමුදාධිපති ඉන්පසු වැඩසිටි කන්ද රජමහා විහාරස්ථානය වෙත පැමිණි එම විහාරස්ථානයේ විහාරධිපති, ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, මාලා ළමාහේවා මැතිනිය, දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් චන්දිම සිල්වා, ගිණිකොන නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග, අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් රුවන් කළුබෝවිල ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්ද සහභාගී වූ අතර, පාද යාත්‍රාව අවසන් වීමට නියමිත 2024 ජුලි මස 11 වන දින දක්වා ඒ සඳහා සහභාගි වන දහස් සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදාව මඟින් අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැලසීමට කටයුතු සූදානම් කර ඇත.