ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ අභිනවයෙන් ඉදිකල සය මහල් නව පහසුකම් ගොඩනැගිල්ල විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන්, අභිනවයෙන් ඉදිකරන ලද සය මහල් නව පහසුකම් ගොඩනැගිල්ල, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ජුලි 07) විවෘත කිරීම සිදුකෙරිණි.
ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ පරිපාලන හා සුභසාධන පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් පැවති අවශ්‍යතාවය සපුරාලමින්, මෙම ගොඩනැගිල්ලෙහි ඉදි කිරීම් කටයුතු දකුණු නාවික විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් 2019 වර්ෂයේ ආරම්භ කෙරිණි. ඒ අනුව, ඉදිකිරීම් අවසන් කරන ලද මෙම සය මහල් නව පහසුකම් ගොඩනැගිල්ල මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනය මධ්‍යයේ මෙලෙස අද දින (2024 ජුලි 07) නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුකෙරුණු අතර, මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා දායකත්වය දැක්වූ සියළුම නාවික හමුදා පුද්ගලයින් ඇගයීමද එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.
ඒ අනුව, කණිෂ්ඨ නාවිකයන් 240 ක පමණ ප්‍රමාණයකට නවාතැන් පහසුකම් සහිත මෙම සය මහල් ගොනැගිල්ල තුල ඉදිරියේදී ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ ක්‍රියාකාරී මැදිරිය, සංඥා මැදිරිය, ගිලන් හල, පොදු භෝජනාගාරය, ප්‍රධාන මුළුතැන්ගෙය, ප්‍රධාන ගබඩාවන් සහ විදුලි හා විද්‍යුත් වැඩපල ඇතුළු නව පහසුකම් ස්ථාපනය කෙරෙණු ඇත.
තවද, මෙම අවස්ථාව සඳහා දකුණු විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, එම විධානයේ ආඥාපති ලෙස වැඩ භාරගැනීමට නියමිත රියර් අද්මිරාල් චන්දිම සිල්වා, නාවික හමුදාධිපති ගේ නාවික සහයක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය, දකුණු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ඉන්දික ගුණවර්ධන සහ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු රවී ගුණසිංහ ඇතුළු දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.