සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) අද දින (2024 ජුලි 15) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු විය.

සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී දින අටක (08) නිල සංචාරයක් සඳහා 2024 ජුලි මස 14 වන දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට පැමිණි අතර, එහිදී නාවික අණභාර නිලධාරි (වැලිසර) කොමදෝරු ප්‍රසාද් ජයසිංහ විසින් ඔහු උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානයට පිවිසි සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාරය පිරිනැමීම සිදුකෙරිණි. අනතුරුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට්, නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් පසු නාවික හමුදා කළමණාකරන මණ්ඩලයේ හමුව සිදු කෙරිණි.

මෙම නිල හමුවේදී, සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර සමුද්‍රීය ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සහ සහයෝගීත්වය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම නිල හමුව සනිටුහන් කරමින් සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට්, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමද, නාවික හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් තැබීමද සිදු කෙරිණි.

එමෙන්ම, කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සහ ඉන්දියන් සාගර කළාපය තුළ ශ්‍රී ලංකා නාවික හමුදා මෙහෙයුම් කටයුතු පිළිබඳව දැනුවත් කිරීමක්ද නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීගේ, ශ්‍රී ලංකා නිල සංචාරයේදී ඔහු ගරු ජනාධිපති, ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක ලේකම් හමුවීමටත්, නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංචාරය කිරීම ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

මෙවැනි නිල සංචාර මඟින් ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවෙන සමුද්‍රීය පාර්ශවකරුවන් අතර, ගොඩනැඟෙන මිත්‍රශීලී විදේශ සබඳතා හා සහයෝගීත්වය සාගරය මතින් ගොඩනැඟෙන තිරසාර නීල ආර්ථිකය සඳහා වැදගත්වන ස්ථාවර ඉන්දියානු සාගර කලාපයක් නිර්මාණය කිරීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.

තවද, දින අටක (08) නිල සංචාරය නිමා කරමින් සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, 2024 ජුලි මස 21 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.