සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 25 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ

ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 36 සහ 37 වන බඳවා ගැනීමට අයත් තාක්ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් විසිපස් දෙනෙකු (25) විසිර යාම හා අධිකාරියට පත් කිරීම, 2024 ජුලි මස 18 වන දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝසප් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) ගේ ගෞරවණීය සහභාගීත්වයෙන්, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සිදු කෙරිණි.

ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන් කල ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 36 සහ 37 වන බඳවා ගැනීමට අයත් තාක්ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් විසිපස් දෙනෙකු (25) නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති අභිමානවත් අධිකාරියට පත්කිරීමේ පෙළපාලිය අවසන තම දෙමව්පියන් සහ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ විසිර යන ලදී.

විසිර යාමේ පෙළපාලිය පරීක්ෂා කළ නාවික හමුදාධිපති, පුහුණුවීම් කාලසීමාව තුළදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ මධ්‍ය නිලධාරියාට හිමි සම්මානය මධ්‍ය නිලධාරි එම්එස්එම් මර්ෂාඩ් හට පිරිනැමීම සිදු කෙරුණු අතර, සෙසු මධ්‍ය නිලධාරීන් වෙත අසිපත් පිරිනැමීම, සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් විසින් සිදු කෙරිණි.

මෙහිදී අධිකාරියට පත් නිලධාරීන් ඇමතූ නාවික හමුදාධිපති, මෙම ආකර්ෂණීය විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බව පවසන ලදි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, මව්බිම සුරැකීම සඳහා ලෝකයේ වෙනත් වෘත්තීන්ට වඩා වෙනස්, අභියෝගාත්මක සහ ගෞරවනීය වෘත්තියක් වෙනුවෙන් තම දරුවන් නාවික හමුදාවට භාරදුන් අධිකාරියට පත් නිලධාරීන්ගේ දෙමව්පියන් හට ප්‍රථමයෙන් ප්‍රශංසාව පුද කරන බවත්, තම දරුවන් මෙවැනි සුවිශේෂී වෘත්තියක් සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් දෙමව්පියන් ආඩම්බර විය යුතු බවත් පවසන ලදී.

අධිකාරියට පත් නිලධාරීන්, ඉදිරියේදී තම වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීම සඳහා පුහුණුව තුලින් ලද නායකත්ව සහ හැකියාවන් වැඩිදියුණු කරගනිමින් තම කණ්ඩායමට සහ නාවික හමුදාවට නායකත්වය දියයුතු බවත්, එමඟින් තම මව්බිම සුරැකීම සඳහා කැපවිය යුතු බවත් පැවසූ නාවික හමුදාධිපති, මව්බිම සුරකින ප්‍රථම ආරක්ෂක වළල්ලේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස නිවැරදී වේලාවට තීරණ ගනිමින් අවශ්‍ය මඟ පෙන්වීම හා නායකත්වය තම කණ්ඩායම වෙත ලබා දිය යුතු බවත්, මව්බිම සුරකින කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස කණ්ඩායමක් ලෙස මව්බිමට එරෙහිව එන අභියෝග සඳහා මුහුණ දිය යුතු බවත් පවසන ලදි.

එමෙන්ම, මෙම විසිර යාම හා අධිකාරියට පත් කිරීමේ අවස්ථාව සඳහා ගෞරවණීය ආරාධිතයා වශයෙන් සහභාගී වූ සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) වෙත කෘතවේදීත්වය පළ කල නාවික හමුදාධිපති, ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේදී සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පුහුණුව සාර්ථකව අවසන් කර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනාගතය භාර ගැනීම සඳහා දක්‍ෂ නිලධාරීන් පිරිසක් නාවික හමුදාවට දායාද කිරීම සඳහා කැපවූ නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති ඇතුළු පුහුණු උපදේශක මණ්ඩලය වෙතද සිය ප්‍රණාමය පිරිනැමීම සිදු කෙරිණි.

එමෙන්ම, නාවික හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශණයකින්, නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනයකින් සහ ආධුනික නාවිකයින් විසින් ඉදිරිපත් කල සරඹ සංදර්ශණයකින් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කරන ලද හිරු අස්ථවිය චාරිත්‍රයත් සමඟින් අධිකාරියට පත් කිරීමේ උළෙල නිමාවට පත්විය.

මෙම අධිකාරියට පත් කිරීමේ උත්සවය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණිය, සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීගේ මැතිණිය මාරි සැන්ඩ්‍රා රොසේට් මහත්මිය, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර (විශ්‍රාමික), නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු නාවික හමුදා විධාන ආඥාපතිවරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මූලස්ථානයේ මෙන්ම නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සම්භාවනිය අමුත්තන් සහ විසිර යන නිලධාරීන්ගේ දෙමව්පියන් පිරිසක් සහභාගී වී සිටියහ.