එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ලොව විශාලතම නාවික බලඇණිය වන එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් Stephen T. Koehler අද දින (2024 ඔක්තෝබර් 10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
ඒ අනුව, මෙම නිල හමුව සඳහා නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි අද්මිරාල් Stephen T. Koehler, ඇතුළු පිරිස නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමීමටද කටයුතු කෙරිණි.
අනතුරුව, නාවික හමුදාධිපති සහ අද්මිරාල් Stephen T. Koehler අතර, ඉන්දීය සාගර කලාපයේ වර්ධනය වන ආරක්ෂක අභියෝග, ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම, අන්තර්ජාතික තර්ජනවලට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා එක්සත් ජනපදයේ ඇති කැපවීම තහවුරු කිරීමට මෙන්ම දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමත්, නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීම පිළිබඳව ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදු කෙරුණු දේශනයක් සහ නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී කටයුතු නිරීක්ෂණය සඳහාද අද්මිරාල් Stephen T. Koehler, ඇතුළු පිරිස සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ඇමෙරිකානු නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.


