මිය ගිය සේවා පුද්ගලයින් සිහිකිරීමේ ජාතික උත්සවය සඳහා නාවික හමුදාධිපති සහභාගී වෙයි
පළමුවන හා දෙවන ලෝක සංග්‍රාමයන්හීදී සහ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව මේ දක්වා සේවයේ යෙදී සිටියදී මියගිය සේවා පුද්ගලයන් සිහි කිරීමේ ජාතික උත්සවය, සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 නොවැම්බර් 24) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වුනු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගී විය.
ඒ අනුව, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කල සිහිකිරීමේ ජාතික උත්සවයේදී මියගිය සේවා පුද්ගලයින් සිහි කර කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්‍රථමයෙන් පුෂ්පෝපහාර පුද කෙරිණි. අනතුරුව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදාධිපතිවරු ඇතුලු විශ්‍රාමික ත්‍රිවිධ හමුදා පුද්ගලයින් සහ සම්භාවනීය ආරාධිතයින් එහිදි මියගිය සේවා පුද්ගලයින් සිහි කර රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කෙරිණි.
එමෙන්ම, මියගිය සේවා පුද්ගලයින් සිහිකිරීමේ ජාතික උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කල ප්‍රධාන සිහිකිරීමේ උත්සවය අද දින (2024 නොවැම්බර් 24) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදීත්, විධාන ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සියළුම නාවික විධානයන්හීදීත් අභිමානවත්ව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ පැවති සිහිකිරීමේ උත්සවය සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් පිරිසක් සහභාගී වූහ.
තවද, නාවික හමුදා මූලස්ථානයේදී පැවති සිහි කිරීමේ උත්සව අවස්ථාවට සමගාමීව වැලිසර නාවික හමුදා රණවිරු ස්මාරකය අභියසදී ද, උතුර, නැගෙනහිර, බටහිර, උතුරු මැද, ගිණිකොන, වයඹ සහ දකුණ යන නාවික විධානයන් හීදී ද, එම විධාන ආඥාපතිවරුන්ගේ හා නියෝජ්‍ය ආඥාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ එම විධානයන්ට අයත් නෞකා හා ආයතනයන්ට අයත් නාවික හමුදා පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් මිය ගිය සේවා පුද්ගලයන් සිහි කිරීමේ අවස්ථාව අභිමානවත්ව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.