ගංවතුරෙන් අවතැන්වු උතුරු පළාතේ ජනතාවට සහන සැලසීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවට නාවික හමුදාධිපති සහභාගි වෙයි

පවතින අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අවතැන්වී ඇති උතුරු පළාතේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ 2024 නොවැම්බර් මස 27 වන දින මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවතී විශේෂ සාකච්ඡාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහභාගි විය.

ඒ අනුව, ප්‍රදේශයේ ඇතිවී ඇති ආපදා තත්වය හමු‍වේ සහන සැලසීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවරයන් ගැනීම පිළිබඳව අවධානය යොමු කල අතර, නාවික හමුදාව විසින් මන්නාරම් ප්‍රදේශයේ සිදු කරනු ලබන ආපදා සහන මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම නාවික හමුදාධිපති විසින් සිදු කරන ලදි.

මෙහිදි මන්නාරම ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයේ නිරික්‍ෂණ චාරිකාවකට එක්වු නාවික හමුදාධිපති තුමා අවතැන්වු ජනතාව ස්ථාන ගත කර ඇති මන්නාරම මුත්තු අම්මාන් කෝවිල, ඕලුතුඩායි ශාන්ත අන්තෝනි දේවස්ථානය, මදර් තෙරේසා දෙමළ මහා විද්‍යාලය සහ එලූත්තූර් යන ස්ථානයන් ද නිරික්‍ෂණය කර, නාවික හමුදා සහන කටයුතු කාර්යක්‍ෂමව සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කෙරුණු අතර, උතුරු මැද නාවික විධානයේ වර්ෂාව නිසා බලපැමකට ලක්වු අනෙකුත් අනුඛණ්ඩයන් ද නාවික හමුදාධිපති විසින් නිරික්‍ෂණ කර අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කෙරිණි.

එමෙන්ම, අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර තත්වය මත පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදී නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් එකොලහක් (11) අම්පාර, මඩකළපුව, පුත්තලම, අනුරාධපුර, මන්නාරම යන දිස්ත්‍රික්කයන් වෙත නාවික හමුදාව විසින් අනුයුක්ත කර ඇති අතර, එම සහන කණ්ඩායම් අද දිනයේදීත් (2024 නොවැම්බර් 28) ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටියි.

අධික වර්ෂාපතනය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ කාර්තිව් හා නාවින්නවේලි, මඩකළපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, පල්ලම, ආරච්චිකට්ටුව හා බිංගිරිය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ බෝගස් හංදිය හා පරාක්‍රමපුර, මන්නාරම් දිස්ත්‍රික්කයේ තුනුක්කායි හා ඔළුවනේරි යන ප්‍රදේශයන්හි ඇතිවි ඇති ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අනුයුක්ත කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම් ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම, පිසු ආහාර බෙදාදීම සහ ගංවතුරෙන් ආපදාවට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටියි.

තවද, ඇති විය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් එකසිය තිස්පහක් (135) සූදානමින් තබා ඇත.