නාවික හමුදාව මඟින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ දන්ත සෞඛ්‍ය කඳවුරක් පවත්වයි

නාවික හමුදාවේ සමාජ සත්කාර්යයක් ලෙස, නාවික හමුදා දන්ත වෛද්‍ය සේවාව, නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ Good Neighbours Foundation (Guarantee) Limited ආයතනය එක්ව සංවිධානය කරනු ලබන දන්ත සෞඛ්‍ය කඳවුරු මාලාවේ තවත් අධියරක් ඇඹිලිපිටිය ප්‍රදේශයේ මෝදරවාන සහ තෝරකොලයාය යන විද්‍යාලයන්හිදී 2024 දෙසැම්බර් මස 05 සහ 06 දෙදින සාර්ථකව පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, මුඛ සනීපාරක්‍ෂාව සහ රෝග නිවාරණ සත්කාරයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කරමින් අඩු පහසුකම් සහිත ප්‍රජාවට උසස් තත්වයේ දන්ත වෛද්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින්, සිදු කෙරණු මෙම දන්ත වෛද්‍ය කඳවුර මඟින් ඇඹිලිපිටිය මෝදරවාන විද්‍යාලයේ සහ තෝරකොලයාය මහා විද්‍යාලයේ දූ දරුවන් හාරසිය හැට හතර දෙනෙකු (464) දන්ත වෛද්‍ය සේවාවන් ලබාගැනීම සිදු කෙරුණු අතර, මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳහාද එම දූ දරුවන් සහභාගී වූහ.

තවද, ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරී (දන්ත වෛද්‍ය සේවා), වෛද්‍ය කොමාණ්ඩර් (දන්ත) අෂානි රත්නකීර්ති සහ බටහිර නාවික විධානයේ වැඩ බලන විධාන දන්ත වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලුතිනන් කොමාණ්ඩර් (දන්ත) රණවක ආරච්චි ‍ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු මෙම දන්ත සෞඛ්‍ය කඳවුර සඳහා සහභාගී වූ දූ දරුවන් වෙත තිළිණ ප්‍රධානයක්ද එහිදී සිදු කෙරිණි.