ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වීදී නාට්‍යයක්

ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මානව ප්‍රථිශක්තී ඌණතා වෛරසය හා ඒඩ්ස් (Human Immunodeficiency Virus - HIV/ Acquired Immunodeficiency Syndrome - AIDS) පිළිබඳව දැනුවත් කිරීමේ වීදි නාට්‍යක් 2024 දෙසැම්බර් මස 06 වැනි දින ත්‍රීකුණාමලය, නාවික තටාකාංගනය පරිශ්‍රයේදී පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

මානව ප්‍රථිශක්තිකරණ උණතා වෛරසය (HIV) ලොවපුරා සෑම කලාපයකම මහජන සෞඛ්‍ය කෙරෙහි විශාල අහිතකර බලපෑමක් ඇති කරණු ලබන අතර, එම වෛරසය ආසාදනය වීම හේතුවෙන් ව්‍යාප්ත වන ඒඩ්ස් වසංගතය පිළිබඳව ලෝක අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම දෙසැම්බර් මස 01 වැනි දින ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇත.

ඒ අනුව, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, වැඩ බලන කොමදෝරු ‍සෞඛ්‍ය අධිකාරී (නැගෙනහිර) වෛද්‍ය කපිතාන් දුමින්ද සමරවික්‍රම ගේ අධීක්‍ෂණයෙන්, නැගෙනහිර නාවික විධානයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අංශය විසින් ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙම විදී නාට්‍ය නාවික තඨාකාංගණ පරිශ්‍රය ආවරණය වන පරිදී පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි.

තවද, මෙම දැනුවත් කිරීමේ වීදී නාට්‍ය පැවැත්වීම මඟින්, ඒඩ්ස් වසංගතය පිලිබඳ නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ දැනුම වර්ධණය කිරීම, එම වසංගතයෙන් ආරක්‍ෂා වීම සඳහා අනුගමණය කල යුතු යහපත් සෞඛ්‍ය පිලිවෙත් පිළිබඳ දැනුවත් කිරීම, රෝගය හඳුනා ගැනීම, ප්‍රථිකාර කිරීම, පැතිරීම වැලැක්වීම සහ ආසාදිතයන් ඇසුරු කිරිමේදි අනුගමනය කල යුතු යහපත් සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරිණි.