නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ඉදිකළ 1062 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ඌරුමලෙයි ක්‍රිස්තියානි දේවස්ථානයේදී ජනතා අයිතියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 1062 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය තලෛයිමන්නාරම ඌරුමලෙයි ශාන්ත ලෝරන්ස් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයේදී උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 11 වැනි දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟ පෙන්වීම මත නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ සිදුකරනු ලබන සුවිශාල සමාජ මෙහෙවරක් වන අතර, එහි තවත් අධියරක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් හා Lion Nation Foundation (Guarantee) Limited ආයතතනයේ මූල්‍ය දායකත්වයෙන් තලෛයිමන්නාරම ඌරුමලෙයි ශාන්ත ලෝරන්ස් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රය තුළ මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය මඟින් එම දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ සහ ගම්වාසීන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා දෙවස්ථානයේ පූජකතුමන්, උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින්, ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගීවී සිටියහ.