2024 වර්ෂයේ නාවික හමුදා වර්ණ ප්‍රදානෝතත්සවයේදී නාවික හමුදා පුද්ගලයන් 326 දෙනෙකු වර්ණ හිමිකර ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද නාවික හමුදා වර්ණ ප්‍රදානෝත්සවය - 2024, වැලිසර, ‘Wave N’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී 2024 දෙසැම්බර් මස 11 වැනි දින නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රදානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර, එහිදී පසුගිය 2021, 2022 සහ 2023 තෙවසර තුළ විධාන, ආරක්‍ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමෙන් නාවික හමුදාව නියෝජනය කළ ක්‍රීඩා ඉසව් 42 ක් අතුරින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩා ඉසව් 35 ක නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 326 දෙනෙකු වෙත වර්ණ ප්‍රදානය කෙරිණි.

ඒ අනුව, පිහිනුම්, දුනු විදීම, ජවන හා පිටිය ඉසව්, බාස්කට්බෝල්, බැඩ්මින්ටන්, බීච් වොලිබෝල්, ‍කාය වර්ධන, බොක්සිං, කැනොයින්, කැරම්, චෙස්, ක්‍රිකට්, පාපැදි, පාපන්දු, ගොල්ෆ්, අත් පන්දු, හොකී, ජූඩෝ, කරාතේ, ජීවිත ආරක්‍ෂක, වෙඩි තැබීම, දැල් පන්දු, ඔරු පැදීම, රගර්, රුවල් ඔරු, ස්කොෂ්, මේස පන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස්, තුන්ප්‍රයාම, කඹ ඇදීම, වොලිබෝල්, බර ඉසිලීම, මල්ලව පොර සහ වූෂූ යන ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් නාවික හමුදා වර්ණ ලාභීන් අතරින් වර්ණ ප්‍රදානෝත්සවය සඳහා පැමිණ සිටි වර්ණලාභීන් වෙත වර්ණ ප්‍රදානය කිරීම; නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කාංචන බානගොඩ, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා වෛද්‍ය රියර් අද්මිරාල් ජානක මාරඹේ, බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් මංජුල දිසානායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් චින්තක රාජපක්‍ෂ, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් ප්‍රශාන්ත ඇන්තනී සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු මාලන් පෙරේරා, විසින් සිදු කෙරිණි.

එමෙන්ම, අන්තර් විධාන, ආරක්‍ෂක සේවා, ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට දිනා දෙමින් නාවික හමුදාවේ සහ මව්බිමේ කීර්තිය ඉහළ නැංවීමට විශිෂ්ඨ දායකත්වයක් දැක්වූ වර්ණලාභී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කළ පුහුණුකරුවන් ඇගයීම වෙනුවෙන් විශේෂ තිළිණ ප්‍රධානයක් ද එහිදී සිදු කෙරිණි.

මෙම වර්ණ ප්‍රදානෝත්සවයේදී 2021 වර්ෂයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස බල නැවි ජේඒඑන් මදුසංක විසින්ද, 2022 වර්ෂයේ දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස බල නැවි ඩබ්ඩබ්ඩීඑන් ප්‍රනාන්දු විසින් සහ 2023 වර්ෂයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස කාන්තා නායක නැවි බීසී ප්‍රියන්ති විසින් කුසලාන හිමිකරගත් අතර, පසුගිය 2021, 2022 සහ 2023 තෙවසර සඳහා අන්තර් විධාන සමස්ත ශූරයන් සඳහා වූ කුසලානය පුහුණු විධානය විසින් හිමි කරගැනීමට සමත්වූ අතර, ඒ සඳහා වන සහතික තිළිණ සහ කුසලාන පිරිණැමීම නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි.

මෙම වර්ණ ප්‍රදානෝත්සවයට සමඟාමීව, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා ක්‍ෂෙත්‍රය වෙත නව ක්‍රීඩාවක් ලෙස ඉලක්කයට පිහි විසි කිරීමේ (Knife Throwing) ක්‍රීඩාව හඳුන්වාදීමේ සංදර්ශනයක් රුසියානු කණ්ඩායමක් විසින් සිදු කෙරුණු අතර, ඔවුන් වෙත ද නාවික හමුදාධිපති විසින් සමරු තිළිණ ප්‍රධානයක් සිදු කෙරිණි.

වර්ණ ප්‍රදානෝත්සවයෙන් අනතුරුව අදහස් දැක්වූ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 2024 වර්ණ ප්‍රදානෝත්සවයේදී වර්ණ හිමි කරගත් සියළුම නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සුභාශිංෂණ පිරිණැමීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, මෙම වර්ණ ප්‍රදානෝත්සවය, නාවික හමුදා පවුලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අප්‍රතිහත ධෛර්යය, නොසැලෙන විශිෂ්ඨ කැපකිරීම, වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ නොපසුබස්නා උත්සාහය තුළින් තම වෘත්තීය ජීවිතය මෙන්ම ක්‍රීඩා ක්‍ෂෙත්‍රයේ ළඟාකරගත් විශිෂ්ඨත්වයේ සැමරීම බව පවසන ලදී.

ක්‍රීඩාව තුළින් සිදුවන කායික සහ මානසික සංවර්ධනය තුලින් ඕනෑම අභියෝගයක් දිරියෙන් ජයගතහැකි ආත්ම ශක්තිය, ඉවසීම, කැපවීම, විඳදරා ගැනීම, නිරෝගීභාවය, උසස් විනය සහ කණ්ඩායම් හැඟීම යන ගුණාංගයන්ගෙන් හෙබි මනා පෞරුෂයකින් යුතුව නාවික හමුදාවේ කාර්යය භාරය කාර්යක්‍ෂමව සහ ඵලදායී ලෙස ඉටුකළ හැකි මනා ශාරීරික සහ මානසික යෝග්‍යතාවයෙන් යුත් ජවසම්පන්න නාවික හමුදා පුද්ගලයන් නාවික හමුදාව දායාද කිරීම, නාවික හමුදාව තුළ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම තුළින් නාවික හමුදාව අපේක්‍ෂා කරනු ලබන බව පැවසූ නාවික හමුදාධිපති, ක්‍රීඩාව තුළින් අඛණ්ඩව ජයග්‍රහණ හිමිකර ගනිමින් නාවික හමුදාවට සහ මව්බිමට අභිමානයක් ගෙනදීමට නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට හැකිවේවායි ප්‍රාර්ථනය කෙරිණි.

තවද, මෙම වර්ණ ප්‍රදානෝත්සවය නාවික හමුදා සංස්කෘතික නර්ථන කණ්ඩායමේ විචිත්‍රවත් අංගයන්ගෙන් මෙන්ම, විවිධ ක්‍රීඩා ඉසව්වන් නියෝජනය වන පරිදි ඉදිරිපත් කෙරුණු සංදර්ශනයන් ගෙන් වර්ණවත් වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා කළමනාකරණ මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, විධාන ආඥාපතිවරුන්, ධජ නිලධාරීන් ඇතුලු ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.