ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ශක්තිමත් ජල ශාස්ත්‍රිය සහයෝගීතාවක් සදහා ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය හැකියාවන් ඉහළ නැංවීම සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය සහ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය ද්විපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබන ලදි. අද (පෙබ 14) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී මෙම ගිවිසුම අත්සන් තබන ලද අතර, මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රිය විද්‍යා ක්ෂේත්‍රයේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම තුළින් දැනුම හුවමාරු කිරීම, ධාරිතා වර්ධනය, තාක්‍ෂණික සහයෝගීතාව සහ ආදායම් උත්පාදනය ඇතුළු ජල ශාස්ත්‍රිය විද්‍යාව පිළිබඳ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත.

මෙම ගිවිසුමට එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලයෙහි රියර් අද්මිරාල් Angus Essenhigh සහ ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලයේ රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය විසින් සිය රාජ්‍යයන් වෙනුවෙන් අත්සන් කරන ලදී. මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ අන්තර් ජාතික ජල ශාස්ත්‍රිය සංවිධානයේ සභාපති රියර් අද්මිරාල් සිසිර ජයකොඩි, (විශ්‍රාමික)ආරක්ෂක අමාත්‍යාංශයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලයේ නිලධාරීන් සමඟින් එක්සත් රාජධානියේ නියෝජිත නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

සිය ශ්‍රී ලංකා සංචාරයේදී රියර් අද්මිරාල් Angus Essenhigh, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ දෙරට අතර උපායමාර්ගික ජල ශාස්ත්‍රිය සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික කටයුතු ශක්තිමත් කිරීමේ අවස්ථා පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම ද්විපාර්ශ්වික විධිවිධාන මගින් ජල ශාස්ත්‍රිය ක්‍ෂේත්‍රය තුළ එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට ලබා දෙන තිරසාර සහයෝගය පිළිබිඹු කරයි. වර්තමානයේ, ලෝකයේ ජාත්‍යන්තර සිතියම් සහ විද්‍යුත් නාවික සිතියම් ආසන්න වශයෙන් 75%ක් පමණ අලෙවි කරනු ලබන්නේ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය හරහා වන අතර එය යටත් විජිත යුගයේ ස්ථාපිත වූ එහි සුවිශේෂී උරුමයකි. ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලයට දැනට ජල ශාස්ත්‍රිය නිෂ්පාදන ගෝලීය වශයෙන් ස්වාධීනව අලෙවි කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ ජාත්‍යන්තර පිළිගැනීම නොමැති බැවින්, එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට සුදුසුම හවුල්කරුවා ලෙස හඳුනාගෙන ඇත.

නව රාමුව යටතේ, එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලයෙහි විස්තීර්ණ ගෝලීය ජාලය හරහා විද්‍යුත් නාවික සිතියම් වලින් සහ අනෙකුත් ජලවිද්‍යාත්මක නිෂ්පාදන අලෙවි කිරීම හරහා සැලකිය යුතු ආදායම් උත්පාදනයක් ශ්‍රී ලංකා ජාතික ජල විද්‍යා කාර්යාලය අපේක්ෂා කරයි, එය එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය වෙත ඓතිහාසික වශයෙන් දත්ත ඉදිරිපත් කිරීම හා සසඳන විට කැපී පෙනෙන දියුණුවකි. මීට අමතරව, දැනට එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රිය කාර්යාලය විසින් දරන තනතුරක් වන ප්‍රාථමික සිතියම් අධිකාරියේ භූමිකාව අනාගතයේ දී ශ්‍රී ලංකාවට භාර ගැනීමට ගිවිසුම මග පාදයි.

මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවට ප්‍රධාන ඉදිරි පියවරක් වන්නේ එය ජාත්‍යන්තර සිතියම් නිෂ්පාදනයේ ක්‍රියාකාරී සහ ප්‍රගතිශීලී හවුල්කරුවෙකු ලෙස ස්ථානගත වන බැවිනි. මෙය දූපත් රාජ්‍යයක් වන අප හට දිගු කලක් තිස්සේ අවශ්‍ය වූ අභිලාෂයකි. ගෝලීය ජල ශාස්ත්‍රිය මුලපිරීම්වලට දායක වෙමින් ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්‍ෂාව සහ තිරසාර සමුද්‍ර සම්පත් කළමනාකරණය සහතික කරමින් ජල ශාස්ත්‍රිය හැකියාවන් දියුණු කිරීම සඳහා මෙම හවුල්කාරිත්වය උපයෝගී කර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රිය කාර්යාලය සිය කැපවීම ප්‍රදර්ශනය කරයි.