නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් පුහුණු වන නාවිකයන් සහ උපදේශකයන් අමතයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 මාර්තු මස 08 වැනි දින උතුරු මැද නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, ශ්‍රීලංනානෞ ශික්‍ෂා අයතනයේ පුහුණුවන නාවිකයින් සහ උපදේශකයන් ඇමතීමට කටයුතු කෙරිණි. නාවික හමුදාවේ කාර්යය හා කර්තව්‍යය ඉටු කිරීමට අවශ්‍ය දැනුම සහ ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුත් නාවිකයෙකු ලෙස පුහුණු වීම සහ පුහුණු කරවීම සඳහා ආධුනික නාවිකයන් වෙත සහ පුහුණු කාර්ය මණ්ඩලය වෙත ඇති වගකිම සම්බන්ධයෙන් අවධාරණය කල නාවික හමුදාධිපති පුහුණු කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමට අවශ්‍යය උපදෙස් ලබා දීමට එහිදී කටයුතු කෙරිණි.

ඒ අනූව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති විසින් නාවික හමුදාධිපති ශික්‍ෂා ආයතනය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ශික්‍ෂා ආයතනයේ පොදු භෝජනාගාරයේදී ශික්‍ෂා ආයතනයේ පුහුණුව ලබන 257 සහ 260 වන ආධුනික බඳවා ගැනීම‍ට අයත් ආධූනික නාවිකයන් ඇමතීම සිදු කෙරිණි. පුහුණුවන කාලය තුල ඉදිරි වෘත්තීය ජීවිතය සඳහා අවශ්‍ය න්‍යායික හා ප්‍රායෝගික දැනුම නිවැරදිව ලබා ගැනීමටත්, හමුදා පුද්ගලයෙකු සඳහා අවශ්‍ය ශාරීරික හා මානසික යෝග්‍යතාවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පුහුණූ අභ්‍යාස සාර්ථකව හදාරා නව දැනුම කුසලතා සහ නිවැරදි ආකල්ප සහිත පිරිපුන් නාවිකයෙක් ලෙස පුහුණුව අවසානයේ නාවික හමුදාවට සේවය කිරීම සඳහා අධිෂ්ඨාන කරගත යුතු බවත් එහිදී නාවික හමුදාධිපති විසින් පවසන ලදි. ජාතික ආරක්‍ෂාව සහ සංවර්ධනය වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන සුවිශේෂී කාර්ය භාරය සඳහා එක්වී මව් බිමට සේවය කිරීම සඳහා එමගින් අවස්ථාව උදාවනු ඇති බවත් අවධාරණය කෙරිණි.

එමෙන්ම ශික්‍ෂා ආයතනයේ පුහුණු උපදේශක කාර්ය මණ්ඩලය ඇමතූ නාවික හමුදාධිපති, ආධුනික නාවිකයන් පුහුණු කිරීමේදී නාවික හමුදාවේ කාර්ය භාරය ඉටු කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම පමණක් නොව ඔවුන්ගේ චරිතය, විනය, හැසිරීම සහ නායකත්ව ගුණාංග අපේක්‍ෂිත මට්ටමට වර්ධනය කිරීම පුහුණු කාර්ය මණ්ඩලයේ වගකීම බව පවසන ලදි. ආධුනික නාවිකයන් නාවික හමුදාවට අවශ්‍ය පරිදි හැඩගැස්වීමේදී නවීන පුහුණු ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් ඔවුන්ගේ භාෂා හැකියාව තොරතුරු තාක්‍ෂණ දැනුම ඇතුළු න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව නිවැරදිව ලබා දිය යුතු බවත්, ආධුනික නාවිකයින්ගේ නවාතැන් පහසුකම්, ආහාර පාන, වෛද්‍ය පහසුකම් ඇතුළු සුභසාධන පහසුකම් සොයා බලා කටයුතු කිරීමද පුහුණූ උපදේශක කාර්ය මණ්ඩලයේ වගකීම බවත් එහිදී නාවික හමුදාධිපති විසින් අවධාරණය කෙ‍රිණි.

තවද, මෙම අවස්ථාව සඳහා උතුරු මැද නාවික විධානයේ ආඥාපති ද සහභාගී විය.