නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, 2025 මාර්තු මස 14 වැනි දින උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයට අයත් නිලධාරීන්, නාවිකයින් සහ දියත් විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් අමතා, නාවික හමුදා මෙහෙයුම්, පුහුණු කටයුතු සහ සංවර්ධන හා සුභසාධන ව්‍යාපෘති කාර්‍යක්‍ෂමව සිදු කිරීම සඳහා උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය සම්බන්ධයෙන් එම විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයින් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් ඇමතීම විධාන නිලධාරී නිවාසයේදීත්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් ඇමතීම ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පොදු භෝජනාගාරයෙදී සහ දියත් විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් ඇමතීම පීඑච් ජැටියේදීත් සිදු කෙරිණි.
එහිදි අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ කාර්යය භාරයක් ශ්‍රි ලංකා නාවික හමුදාවට පැවරී ඇති බවත්, සාගර කලාපයේ ආරක්‍ෂාව, සාගරයේ සිට ගුවන සහ ගොඩබිම ආරක්‍ෂා කිරීම සහ ඒ ඔස්සේ සිදු කෙරෙණ ආර්ථික කටයුතු සුරක්‍ෂිතව සිදුකරමින් ශ්‍රී ලංකා දේශය සහ ජනතාව සුරක්‍ෂිත කිරීමේ ජාතික සමුද්‍රීය අභිලාශය ඉටු කිරීම නාවික හමුදාව වෙතින් අපේක්‍ෂා කරන බවත් පවසන ලදි. සාගරය ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධී කටයුතු මැඩ පවත්වා, සාගරයේ ජෛව විවිධත්වය රැක ගැනීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව කැපවී සිටින බවත්, ඒ සඳහා දායක වීමෙන් සුරක්‍ෂිත රටක් නිර්මානය කිරීමට සැමට හැකියාව ලැබෙන බව පවසන ලදි.
ඒ සඳහා වෘත්තීය නිපුණ, තාක්‍ෂණයෙන් පිරිපුන් නාවික හමුදාවක් පවත්වා ගැනීම අවශ්‍ය බවත් තමන්ට පැවරී ඇති රාජකාරිය අවබෝධයෙන් නිවැරදිව ඉටුකිරීමට සැමගේ කැපවීම අවශ්‍ය බවත්, ප්‍රවීණ පරිනත, ජ්‍යෙෂ්ඨයන් වෙතින් කණිෂ්ඨයන් වෙත උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම අවශ්‍ය බවත් එහිදී අවධාරණය කෙරිණි. රජයේ සංවර්ධන කටයුතු සහ විශේෂ ව්‍යාපෘති සඳහා නාවික හමුදාවේ තාක්‍ෂණික සහ ශිල්පීය දායකත්වය ලබා දෙන බව පැවසූ නාවික හමුදාධිපති, ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශව කරුවෙක් ලෙස ශ්‍රී ලංකාව පාරිසරික, සමාජමය, සහ ආචාර ධර්මීය වශයෙන් වෙනස් කිරීමේ සුවිශේෂී කර්තව්‍ය සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායකත්වය ලබා දෙන බවත්, ඒ සඳහා සැමගේ දායකත්වය අපේක්‍ෂා කරන බවත් එහිදී පවසන ලදි.
තවද, මෙම සංචාරයේදී නාවික හමුදාධිපති ශ්‍රි ලංකා නාවික නෞකා උත්තර, වසභ, සහ එළාර ආයතනයන්හි මෙහෙයුම්, සුභසාධන, පුහුණු සහ සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කර එම කටයුතු වඩාත් කාර්‍යක්‍ෂමව ඉටුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කෙරිණි.