යාපනය පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට නාවික හමුදා සහාය

යාපනය පලෙයිතිව් දුපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය 2025 මාර්තු මස 21 සහ 22 යන දෙදින ඉතා උත්කර්ශවත් අයුරින් පවත්වන ලද අතර, එම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම ඇතුළු ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා මුහුදු ප්‍රවාහන පහසුකම් සැලසීම නාවික හමුදාවේ අධීක්‍ෂණයෙන් සිදුකෙරුණු අතර, සනීපාරක්‍ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම් සහ පානීය ජලය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සැලසීම මෙන්ම, දේව මංගල්‍යයට සහභාගී වු බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීම ද නාවික හමුදාව විසින් සිදු කෙරිණි.

උතුරේ ජනතාවගේ සමාජ සුභසාධනය සහ ආගමික හා සංස්කෘතික සමඟිය වෙනුවෙන් නාවික හමුදාවේ අඛණ්ඩ දායකත්වය පෙන්නුම් කල මෙම දේව මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙය යාපනය පදවිය භාර ගරු පී. ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර, ඒ සඳහා දිවයිනේ අනෙකුත් ප්‍රදේශ නියෝජනය කරමින් තවත් ගරු පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.