‘සමුද්‍රිකා’ පර්යේෂණ නෞකාවේ මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (National Aquatic Resources Research and Development Agency - NARA) සමුද්‍රීය පර්යේෂණ සඳහා භාවිතා කරනු ලබන ‘සමුද්‍රිකා’ පර්යේෂණ නෞකාවේ මෙහෙයුම් කළමණාකරනය හා නඩත්තුව සම්බන්ධයෙන්, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අවබෝධතා ගිවිසුමකට එළඹීම 2025 මාර්තු මස 27වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
සමුද්‍රිකා නෞකාව එහි උපරිම කර්යක්‍ෂමතාවයෙන් සමුද්‍රීය පර්යේෂණ සඳහා යෙදවීම සඳහාද, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පර්යේෂණ සහ මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීම වෙනුවෙන්ද ගත් වැදගත් පියවරක් ලෙස, මෙම අවබෝධතා ගිවිසුමට එළඹීම සනිටුහන් වේ. එමඟින් නාවික හමුදාව සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනයේ විශේෂඥ ශිල්පීය හා තාක්‍ෂණික හැකියාවන් තුළින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය වපසරිය තුළ සිදුකෙරෙන සාගර විද්‍යාත්මක, සමුද්‍රීය ජෛව විද්‍යාත්මක සහ ජල ශාස්ත්‍රීය පර්යේෂණ ඒකාබද්ධ ප්‍රවේශයකින් වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීම අපේක්ෂා කෙරේ.
තවද, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පර්යේෂණ සහ මෙහෙයුම් හැකියාවන් වැඩි දියුණු කිරීම වෙනුවෙන් එළඹුනු මෙම අවබෝධතා ගිවිසුම සඳහා නාවික හමුදා පාර්ශවයෙන් අත්සන් කිරීම, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින්ද, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායනය වෙනුවෙන් අත්සන් කිරිම, එහි සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි විසින්ද සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ජාතික ජල ශාස්ත්‍රීය ප්‍රධානී, රියර් අද්මිරාල් කෝසල වර්නකුලසූරිය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.