‘Speech Craft’ සමාජයේ ප්‍රථම ඉංග්‍රීසි කථන වැඩමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ කථන හැකියාව (Public Speaking) සහ විශ්ලේෂණ කුසලතා (Analytical skills) වැඩිදියුණු කිරීමේ අරමුණෙන්, නාවික පර්යේෂණ ඒකකය විසින් ප්‍රථම වරට සංවිධානය කල ඉංග්‍රීසි කථන වැඩමුළුව, කැළණිය ටෝස්ට්මාස්ටර්ස් සමාජයේ මෙහෙයවීමෙන් 2025 මාර්තු මස 28 වැනි දින වැලිසර ‘Wave n’ Lake’ නාවික හමුදා උත්සව ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, නාවික හමුදා නිලධාරීන්ගේ කථන හැකියාව සහ විශ්ලේෂණ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය සන්නිවේදන ශිල්ප ක්‍රම භාවිතය පිළිබඳ විවිධ අන්තර්ක්‍රියාකාරී සැසි සහ ප්‍රායෝගික අභ්‍යාස මඟින් ප්‍රායෝගිකව දැනුවත් කිරීම මෙම වැඩමුළුව තුළදී සිදුකෙරුණු අතර, ඒ සඳහා ‘Speech Craft’ සමාජයේ සාමාජිකත්වය ලද, නාවික හමුදා විධාන සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසිතුන් දෙනෙකු (23) සහභාගී වූහ.
තවද, ගෝලීය වශයෙන් වැදගත් සිදුවීම් සම්බන්ධයෙන් දැනුවත් වීම හා පුහුණු වන්නන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව වර්ධනය කිරීම, දෙස් විදෙස් පුහුණු පාඨමාලා, වැඩමුළු, සම්මන්ත්‍රණ හා සමුළු සඳහා සහභාගී වීමේ දී අවශ්‍ය ඉංග්‍රීසි භාෂා දැනුම හා ශිල්ප ක්‍රම වැඩිදියුණු කිරීම සහ නාවික හමුදා නිලධාරින්ගේ නායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීම, මෙවැනි කථන පුහුණු වැඩමුළු සංවිධානය කිරීම මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.