අභ්‍යන්තර කටයුතු ඒකකයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව තුල ස්ථාපනය කෙරුණු අභ්‍යන්තර කටයුතු ඒකකයන්ට අයත් සාමාජිකයන් හට, එම ඒකකයන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ දේශණයක්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සාමාජිකයන් විසින් 2025 ජුනි මස 11 වැනි දින නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඒ අනුව, මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා පැමිණි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ජනාධිපති නීතීඥ චේතිය ගුණසේකර මහතා ඇතුළු නියෝජිත පිරිස නාවික හමුදාධිපති හමුවී සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව, දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කෙරිණි. එහිදී ආරම්භක දේශනය සිදුකල නාවික හමුදාධිපති, අවංකත්වය මත පදනම් වූ නාවික හමුදාවක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කරමින්, විනිවිදභාවය, වගවීම සහ දූෂණයෙන් තොර නාවික හමුදාවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය වැඩිදුරටත් අවධාරනය කෙරිණි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දේශන සැසි තුනකින් යුතුව පැවැත්වුණු අතර, එහිදී 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත, අභ්‍යන්තර කටයුතු ඒකකයන්ගේ කාර්යභාරය සහ වගකීම්, නව වත්කම් සහ බැරකම් ප්‍රකාශන නීතිය, අල්ලස් හා දූෂණ ක්‍රියාවන්ගේ සමාජ ප්‍රතිවිපාක ආදිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීම සිදුකෙරිණි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ අභ්‍යන්තර කටයුතු ඒකකය සහ නාවික විධානයන්ගේ ස්ථාපිත අභ්‍යන්තර කටයුතු ඒකකයන්ට අයත් නිලධාරීන් 72දෙනෙකු සහ නාවිකයන් 27 දෙනෙකු ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.