නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් චන්දිම සිල්වා පත් කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චන්දිම සිල්වා 2025 මැයි මස 31 වන දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් චන්දිම සිල්වා වෙත නිල වශයෙන් 2025 ජූනි 12 දින නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
පානදුර, ශ්‍රී සුමංගල විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් චන්දිම සිල්වා, 1991 වර්ෂයේදී ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත. ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් හා ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1993 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1994 වර්ෂයේදී බංගලාදේශ නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, දියයට සංග්‍රාමික දීර්ඝ පාඨමාලාව ඉන්දියාවේදීද අණ හා මාණ්ඩලික පාඨමාලාව සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය වෙතින් ද සම්පූර්ණ කර ඇත. එමෙන්ම ජාතික ආරක්‍ෂක පාඨමාලාව පාකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විද්‍යායතනය වෙතින් හදාරා ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති ඔහු, කැලණිය විශ්ව විද්‍යාලය වෙතින් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා, සිය වෘත්තීය ජීවිතයේ ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2023 වර්ෂයේ අගෝස්තු මස 10 වැනි දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.
තිස් වසරකට ආසන්න කාලයක් මෙරට වෙලාපැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මාණුෂීය මෙහෙයුම සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණශූර පදක්කමෙන් දෙවතාවක් පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, ඔහුගේ අගනා සේවය, නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇත.
සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති රියර් අද්මිරාල් චන්දිම සිල්වා, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙසත්, ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී ලෙසත්, රාජකාරී සිදු කොට ඇත. තවද, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුහුණු, ආඥාපති හා අණදෙන නිලධාරි ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික සුභසාධන, නාවික පරීක්‍ෂණ ඒකකයේ අධ්‍යක්‍ෂ, වයඔ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, ධජ නිලධාරි නාවික දියත් විධානය, දකුණු නාවික විධානයේ ආඥාපති වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.
තවද, රියර් අද්මිරාල් චන්දිම සිල්වා බටහිර නාවික විධානයේ ආඥාපති ලෙස එම ධුරයෙහි කටයුතු සිදුකරන අතරතුර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරයෙහි රාජකාරීන් ඉදිරියට සිදුකරනු ඇත.