නීති විරෝධී ධිවර කටයුතු මැඩලීමට නාවික හමුදාව, රාජ්‍ය ආයතන සහ ත්‍රීකුණාමලය ධිවර ප්‍රජාව පෙරමුණ ගනී

නිති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් සමුද්‍රීය පරිසරයට, සංචාරක කර්මාන්තයට සහ අනාගත පරපුරට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව නැගෙනහිර පළාතේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයන්ගේ හා නැගෙනහිර පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2025 ජුනි මස 13 වැනි දින ත්‍රීකුණාමලය නාවික තඨාකාංගනයේදී පැවැත්විණි.

ඒ අනුව, නැගෙනහිර මුහුදේ වර්ධනය වෙමින් පවතින නීතිවිරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම, සමුද්‍රීය පරිසරය රැකගැනීම, නීත්‍යානුකූල ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම, නීති විරෝධි ධිවර කටයුතු හේතුවෙන් මත්‍ස්‍ය සම්පත විනාශවීම, සංචාරක කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම, මසුන් ඇල්ලීමේ සම්මත පන්න ක්‍රම භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ අනාගත පරපුර වෙනුවෙන් සමුද්‍රීය පරිසරය රැකදීම පිළිබඳ ධීවර ප්‍රජාව දැනුවත් කිරීම මෙම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් අපේක්‍ෂා කෙරිණි.

එමෙන්ම, මෙම නිති විරෝධී ධීවර ගැටළු නිසි ලෙස විසඳා නොගතහොත් අනාගතයේදී ඇතිවිය හැකි අයහපත් ප්‍රතිවිපාක මෙන්ම, පවත්නා නීතිමය රාමුව පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමද එහිදී සිදු කෙරුණු අතර, පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ධීවර කටයුතු සිදුකරන්නන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස නාවික හමුදාව සහ අනෙකුත් පාර්ශව වෙතින් ධීවර සංගම් විසින් ඉල්ලීමක්ද මෙම වැඩසටහන තුලදී සිදුකෙරිණි. තවද, නීත්‍යානූකූලව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ගේ ඉල්ලීම් සහ ගැටළුද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වූ අතර, ඒ සඳහා විශේෂ අවධානය යොමුකර ගැටළු විසදීම සඳහා පියවර ගැනීමටද මූලික අඩිතාලම යොදන ලදි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම්, නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන්, ත්‍රීකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ හා ධීවර පරීක්‍ෂකවරුන්, සංචාරක කාර්යාංශයේ නැගෙනහිර පළාත් සාමාන්‍යාධිකාරී, ත්‍රීකුණාමලය පුපුරණ ද්‍රව්‍ය පාලක සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවර සමිති නියෝජනය කරමින් නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.