තාක්‍ෂණික ප්‍රවීණතාවය ලබාගත් ශිල්පීය අංශයේ නාවිකයන් 32ක් විසිර යයි

වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ 22 වැනි තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව නිමකල ශිල්පීය අංශයේ නාවිකයන් තිස් දෙදෙනෙකු (32) විසිරයාම, 2025 ජුනි මස 20 වැනි දින වැලිසර, නාවික තාක්‍ෂණික ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී, එම ආයතනයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ කපිතාන් හේමජිත් බණ්ඩාරගේ ආරාධනයෙන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් හසන්ත දසනායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

වැලිසර නාවික තාක්‍ෂණික ආයතනයේදී වසර හතරක (04) කාල සීමාවක් තුළ නාවික තාක්‍ෂණික පාඨමාලාව සාර්ථකව හදාරා, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය මඟින් පිරිනමන ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමාව (National Diploma in Technology - NDT) සඳහා සුදුසුකම් ලැබූ ශිල්පීය අංශයේ නාවිකයින් තිස් දෙදෙනෙකු (32) මෙලෙස විසිර ගිය අතර, පුහුණු කාලසීමාව තුළ විශේෂ කුසලතා දැක්වූ ශිල්පීය නාවිකයින් ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත කුසලාන ප්‍රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා විසින් සිදුකෙරිණි.

ඒ අනුව, නාවික තාක්‍ෂණික ආයතනයේ 22 වන බඳවා ගැනීමේ ශිල්පීය නාවිකයින් ගෙන් නාවික ඉංජිනේරු අංශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය එන්ජින් කාමර ශිල්පී ශ්‍රේණි I එම්කේආර්එන් ප්‍රනාන්දු විසින්ද, විදුලි ඉංජිනේරු අංශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය ශිල්පි ශ්‍රේණි I කේඩීඒ කොඩිකාර විසින්ද, නැව්බඳ ඉංජිනේරු අංශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය නැව්බඳ ශිල්පි ශ්‍රේණි I එල්එස්ඩී ලියනගේ විසින්ද හිමිකර ගන්නා ලදි.

එමෙන්ම, මෝටර් රථ ඉංජිනේරු අංශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය මෝටර් රථ ඉංජිනේරු ශිල්පී II කේජීඒසී මදුරංග විසින්ද, දක්ෂතම ඉලක්කකරු වෙත පිරිනමන කුසලානය සහ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිල්පීය නාවිකයා වෙත පිරිනමන කුසලානය ශිල්පි ශ්‍රේණි I ආර්එන්ඩිටීකේ රත්නායක විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට පිරිනමන කුසලානය එන්ජින් කාමර ශිල්පී I පීජීයුඩී රත්නායක විසින් සහ දක්‍ෂතම ශිල්පීය නාවිකයාට හිමි කුසලානය ගුවන් විදුලි ශිල්පි ශ්‍රේණි I අයිජීඑස්අයි ජයසේන විසින් හිමිකර ගන්නා ලදි.

එහිදී, විසිරගිය ශිල්පීය අංශයේ නාවිකයන් ඇමතූ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් හසන්ත දසනායක, එම නාවිකයන් වෙත සිය සුභපැතුම් පිරිනමා, නාවික හමුදාවේ කාර්යය භාර්යය උපරිම ශක්ති ප්‍රමාණයෙන් ඉටු කිරීම සඳහා අධිෂ්ඨානශීලීව කැපවීම නාවික හමුදාව අපේක්‍ෂා කරන බව අවධාරණය කෙරිණි. එමෙන්ම, මෙම විසිරයාමේ උත්සවයට සමගාමීව, විසිරයන ලද ශිල්පීය නාවිකයන් විසින් නිර්මාණය කරන ලද නව නිපැයුම් නිරීක්‍ෂණය කිරීමද එහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදුකෙරුණු අතර, එම නව නිර්මාණ, පුහුණුව තුළින් විසිරයන ලද ශිල්පීය නාවිකයන් ලබා ගන්නා ලද තාක්‍ෂණික දැනුම සහ ප්‍රායෝගික කුසලතාවය ගෙනහැර දක්වන්නක් විය.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදා තුර්යවාදක කණ්ඩායමේ සංදර්ශනයකින් විචිත්‍රවත් වූ මෙම විසිර යාමේ පෙළපාලිය සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්න, බටහිර නාවික වි‍ධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු බුද්ධික ජයවීර ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ, බටහිර නාවික විධානයේ සහ වැලිසර නාවික සංකීර්ණයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහ විසිරයන නාවිකයින්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.