නාවික හමුදාධිපති ගිණිකොන නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුනි මස 20 වැනි දින සිට 22 වන දින දක්වා ගිණිකොණ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සුභසාධන සහ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කර, එම කටයුතු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී, නාවික හමුදාවේ කාර්යය භාරය හා මෙහෙයුම් අභිප්‍රාය සම්බන්ධයෙන් එම විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති ගිනිකොණ නාවික විධානය වෙත එම විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා විසින් පිළිගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේදී ගිනිකොණ නාවික විධානයට අයත් නාවික හමුදා පුද්ගලයින් අමතමින් නාවික හමුදාවේ කාර්යය භාරය සහ මෙහෙයුම් අභිප්‍රාය සම්බන්ධයෙන් එම විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කෙරිණි.
එහිදි අදහස් දැක්වූ නාවික හමුදාධිපති, උතුරු නැගෙනහිර ප්රදේශයන්ගේ සිට ගිනිකොණ නාවික විධානය ඔස්සේ කතරගම දේවාලය දක්වා සිදුකෙරෙන පාද යාත්‍රාව සඳහා සහභාගිවන බතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නාවික හමුදාවට පැවරෙන වගකීම හා කාර්යයභාරය පිළිබඳව දැනුවත් කර, එම කාර්යයභාරය සාර්ථකව ඉටුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යය භාරයක් ශ්‍රි ලංකා නාවික හමුදාවට පැවරී ඇති බවත්, දේශීය ජල තීරය ඇතුළු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින්, ජාතික ආරක්ෂාව වෙත භාහිරව හෝ අභ්‍යන්තරව එල්ලවන තර්ජන මැඩපවත්වා, මව්බිමේ ස්වයිරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරකිමින්, ස්ථායී සාගර කලාපයක් පෝෂණය කිරීමේ ජාතික සමුද්‍රීය අභිලාශය සාක්ෂාත් කරගැනීම උදෙසා තමන්ට පැවරෙන රාජකාරිය නිසි උපදෙස් හා මඟපෙන්වීම ලබා ගනිමින් විධිමත් ක්‍රමවේදයට අනුකූලව සිදුකිරිම අවශ්‍ය බව අවධාරණය කෙරිණි. විශේෂයෙන් නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන වෙත අවශ්‍ය සහයෝගය ලබාදෙමින් රාජ්‍ය ආයතන සමඟ සහයෝගීව කටයුතු කල යුතු බව පැවසූ නාවික හමුදාධිපති, උසස් විනය හා මනා පැවැත්ම සැමවිටම පවත්වාගත යුතු බවත්, ඒ සඳහා ප්‍රවීණ පරිණත ජ්‍යෙෂ්ඨ නාවිකයන් වෙතින් කණිෂ්ඨයන් වෙත නිරතුරුව උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම අවශ්‍ය බවත්, එමඟින් උසස් සේවයක් ජනතාවට ලබාදෙමින්, යහපත් රටක් අනාගත පරපුර වෙත දායාද කරදීමට හැකියාව ලැබෙන බවත් පවසන ලදී. රටේ ජාතික ආරක්ෂාව සුරැකීමට සමගාමීව නාවික හමුදාව සිදුකරනු ලබන පුළුල් පරාසයක මෙහෙයුම් සිදුකිරීම සඳහා නව දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කරගනිමින්, සුරක්ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා අධිෂ්ඨානශීලී කැපවීම සෑම නාවික හමුදා පුද්ගලයෙක් වෙතින්ම නාවික හමුදාව අපේක්ෂා කරන බවත් එහිදී නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
මෙම සංචාරයේදී, නාවික හමුදාධිපති ගිනිකොණ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග සහ දීඝායු ආයතන සහ එම ආයතනයන්ට අයත් නාවික අනුඛණ්ඩයන් වෙතින් සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කෙරිණි. එහිදී, නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රායට අනුකූලව අපේක්ෂිත මෙහෙයුම් සූදානම අඛණ්ඩව පවත්වාගැනීම සඳහා සහ සුභසාධන සහ සංවර්ධන කටයුතු කාර්යක්ෂමව පවත්වාගනෙම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදුකෙරිණි.