කතරගම පාද යාත්‍රාවට සමඟාමීව පරිසර සංරක්ෂණය සඳහා නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වය
කුමන ජාතික වන උද්‍යානය ඔස්සේ කතරගම දක්වා පැවැත්වෙන පාද යාත්‍රාව සඳහා සහභාගීවන විශාල බැතිමතුන් පිරිසකට අවශ්‍ය ආරක්ෂාව සහ සුභසාධනය සඳහා අවශ්‍ය ප්රජාසත්කාරක දායකත්වය ලබාදීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 ජුනි මස 20 වැනි දින සිට විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවන ලද අතර, ඊට සමඟාමීව කුමන ජාතික වන උද්‍යානය තුල ගිනිකොන නාවික විධානයේ මූලිකත්වයෙන් විශේෂ පරිසර සංරක්ෂණ වැඩසටහනක් ආරම්භ කිරීම 2025 ජුනි මස 25 දින සිදු කෙරිණි.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවික පරිසරයේ තිරසාරත්වය රැකගැනීම වෙනුවෙන් පරිසර සංරක්ෂණ වැඩසටහන් සඳහා නිරන්තර ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදෙනු ලබයි. ඒ අනුව, කුමන ජාතික වන උද්‍යානය ඔස්සේ සිදුකෙරෙන මෙම සාම්ප්‍රදායික කතරගම පාද යාත්‍රාවට සමගාමීව ස්වාභාවික පරිසර පද්ධතියේ තිරසාර පැවැත්ම උදෙසා, එම වන උද්‍යානයේ පාලනාධිකාරිය සමඟ සම්බන්ධීකරණයෙන් මෙම විශේෂ පරිසර සංරක්ෂණ වැඩසටහන ආරම්භ කෙරිණි.
ගිනිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව සිදුකෙරුණු මෙම පරිසර සංරක්ෂණ වැඩසටහන මඟින්, කුමන ජාතික වන උද්‍යානය වෙත බැහැර කරන දිරාපත් නොවන කැලිකසළ එක්රැස් කර, එම පරිසර පද්ධතියේ තිරසාරත්වයට හානි නොවන ලෙස ඉවත්කර නිසි ලෙස බැහැර කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
තවද මෙම පරිසර හිතකාමී ප්රයත්නය මඟින්, සාම්ප්‍රදායිකව සිදුකෙරෙන කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගිවන බැතිමතුන් වෙත පරිසරය රැකගැනීමේ වැදගත්කම පිලිබඳ දැනුවත් කිරීම ද නාවික හමුදාව අපේක්ෂා කෙරිණි.