නැව්පති සහ නාවික බළඇණියේ අණදෙන නිලධාරීන් අතර සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව COs Conclave - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි

නැව්පති සහ නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් අතර වාර්ෂිකව සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව (COs Conclave - 2025), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු සියළුම අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන්ගේ සහභාගීත්වයෙන්, 2025 ජුනි මස 27 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

ස්ථාවර සාගර කලාපයක් පවත්වා ගැනීමේ ජාතික සමුද්‍රීය අභිලාසය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා බළඇණිය උපරිම කාර්යක්‍ෂමතාවයෙන් සහ ඵලදායිතාවයෙන් යුතුව පවත්වා ගැනීම වෙනුවෙන්; උපායික, මෙහෙයුම් සහ උපායමාර්ගික මට්ටමෙන් ගතයුතු තීන්දු හා තීරණ, සන්නිවේදන, පුහුණු කටයුතු, මෙහෙයුම් පරිසරය සහ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳ පුළුල්ව හා සෘජු ප්‍රවේශයකින් නැව්පති සහ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ සාකච්ඡාව වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

ඒ අනුව, දේශීය ජලතීරයේ සිට ජාත්‍යන්තර මුහුද දක්වා පුළුල් සමුද්‍රීය වපසරියක සිදුකරනු ලබන මෙහෙයුම් සම්බන්ධයෙන් නෞකාවන්ගේ අණදෙන නිලධාරීන්ගේ මෙහෙයුම් අත්දැකීම්, සාගර කලාපයේ නව ප්‍රවනතා හා ගැටළු, නාවික හමුදාවේ ප්‍රතිපත්ති හා ඉදිරි සැලසුම් සහ නීතිමය රාමුව පිළිබඳ මෙම සාකච්ඡාවේදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීම සිදුකෙරුණු අතර, නෞකා බළඇණියේ හිටපු අණදෙන නිලධාරීන්ගේ මෙහෙයුම් අත්දැකීම් වත්මන් අණදෙන නිලධාරීන් සමඟ හුවමාරු කර ගැනීමද එහිදී සිදුකෙරිණි.

තවද, මෙම සාකච්ඡාව සඳහා නාවික හමුදා නෞකාවන්ගේ අණදෙන නිලධාරීන්, නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරී සහ නෞකාවන්ගේ අණභාර නිලධාරීන් සහභාගීව සිටි අතර, වාර්ෂිකව පැවැත්වෙණ මෙම විශේෂ සාකච්ඡාව මඟින් නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රායට අනුකූලව නෞකා බළඇණියේ මෙහෙයුම් සුදානම අඛණ්ඩව පවත්වා ගැනීම, නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.