නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන ‍03ක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුටුවැව කටාරම්පුර පාසලේ හා උල්පත්වැව ආරාණ්‍ය සේනාසනයේ මෙන්ම හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාමිඋල් මිල්ෆර් ජුම්ආ මස්ජිද් ඉස්ලාම් දේවස්ථානයේ ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන තුනක් (03) 2025 ජුලි මස 05 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

එමෙන්ම, මෙම ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 03ත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1112ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, එක් ජල පිරිපහදු මධ්‍යස්ථානයකින් දිනකට ජල ලීටර් 10000ක පමණ ප්‍රමාණයක් පිරිපහදු කිරීමේ හැකියාව ඇත. මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථාන 03 මඟින්, දුටුවැව කටාරම්පුර පාසල, උල්පත්වැව ආරාණ්‍ය සේනාසනය හා ජාමිඋල් මිල්ෆර් ජුම්ආ මස්ජිද් ඉස්ලාම් දේවස්ථානය ආශ්‍රිතව ජීවත් වන පාසල් ළමුන් ඇතුළු විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

‘නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’ යන රාජ්‍ය සෞඛ්‍ය දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම සමාජ සත්කාරය සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායක වෙයි.