නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින් නාවික හමුදා මෙහෙයුම් අභිප්‍රාය අවධාරණය කරයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ 2025 ජුලි මස 12 සහ 13 දෙදින වයඹ නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙමින්, එම විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණී සහ විජය ආයතනයන් හා එම ආයතනයන්ට අයත් අනුඛණ්ඩයන්හි මෙහෙයුම් සූදානම, පරිපාලන කටයුතු සහ සුභසාධන කටයුතු නිරීක්‍ෂණය කර, එම කටයුතු නිසිලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සමාලෝචනයක නිරතවී, නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳ අවධාරනය කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් සමඟ ප්‍රථමයෙන් සින්නපාඩු නාවික අණුඛණ්ඩයෙහි නිරීක්‍ෂණ සංචාරය සිදුකිරීමෙන් පසුව, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය මඟින් සිදුකෙරෙණ මෙහෙයුම්, පරිපාලන සහ සුභසාධන කටයුතු නිරීක්‍ෂණය කෙරිණි. එහිදී, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් අමතමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය පිලිබඳව දැනුවත් කර, නාවික හමුදාවේ කාර්යය භාරය ඉටු කිරීම සඳහා සියළුම නාවික හමුදා පුද්ගලයින්ගේ කැපවීම අවශ්‍ය බව අවධාරණය කෙරිණි.

අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් මෙහොත්තුවාරම් සහ කන්දක්කුලිය නාවික අණුඛණ්ඩ තුල නිරීක්‍ෂණ සංචාරය සිදුකර, උච්චමුණිය නාවික අණුඛණ්ඩය නිරික්‍ෂණය කල නාවික හමුදාධිපති, එම නාවික අණුඛණ්ඩ මඟින් සිදුකෙරෙණ මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකෙරිණි.

තවද, නාවික හමුදාධිපතිගේ මෙම සංචාරය, වයඹ ප්‍රදේශයේ ආරක්‍ෂක තත්වය තක්සේරු කිරීමේ සහ අනාගත උපායමාර්ගික ප්‍රමුඛත්වයන් පිළිබඳ උපදෙස් ලබා දීමේ අවස්තාවක් ලෙසද සනිටුහන් වූ අතර, එම සංචාරය සඳහා වයඹ නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි හා විජය ආයතනයන්ගේ අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගීවී සිටියහ.