නැව්පති සහ නාවික හමුදා ගොඩබිම් ආයතනයන්ගේ අණදෙන නිලධාරීන් අතර සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව COs Conclave - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි

නැව්පති සහ නාවික හමුදා ගොඩබිම් ආයතනයන්ගේ අණදෙන නිලධාරීන් අතර වාර්ෂිකව සිදුකෙරෙණ විශේෂ සාකච්ඡාව (COs Conclave - 2025), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන්ගේ සහභාගීත්වයෙන්, 2025 ජූලි මස 23 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

ජාතික සමුද්‍රීය අභිලාසය සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර කලාපයේ මෙන්ම, ගොඩබිම ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකිරීමේදී සහ මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතන හා එක්ව එකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේදී නෞකා බළඇණිය, බලකා සහ අනෙකුත් ඒකක උපරිම කාර්යක්‍ෂමතාවයෙන් සහ ඵලදායිතාවයෙන් යුතුව පවත්වා ගැනීම වෙනුවෙන්; උපායික, මෙහෙයුම් සහ උපායමාර්ගික මට්ටමෙන් ගතයුතු තීන්දු හා තීරණ, සන්නිවේදන, පුහුණු කටයුතු, මෙහෙයුම් පරිසරය සහ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳ පුළුල්ව හා සෘජු ප්‍රවේශයකින් නැව්පති සහ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ සාකච්ඡාව සංවිධානය කරනු ලබන අතර, නෞකා බලඇණියේ අණදෙන නිලධාරීන් සහ නැව්පති අතර පැවති සාකච්චාව පසුගිය ජුනි මාසයේදී පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදාවේ ගොඩබිම් ආයතන විසින් සිදුකරනු ලබන මෙහෙයුම් සම්බන්ධයෙන් එම ආයතනයන්ගේ අණදෙන නිලධාරීන්ගේ මෙහෙයුම් අත්දැකීම්, ආරක්ෂාව හා සබැඳි නව ප්‍රවනතා හා ගැටළු, නාවික හමුදා පුද්ගලයන්ගේ පුහුණුව සුභසාධනය හා පරිපාලනය, සයිබර් ආරක්ෂාව සම්බන්ධ නව ප්‍රවණතා, නාවික හමුදාවේ ප්‍රතිපත්ති හා ඉදිරි සැලසුම් සහ නීතිමය රාමුව පිළිබඳ මෙම සාකච්ඡාවේදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගැනීම සිදුකෙරුණි. එමෙන්ම, නාවික හමුදාවේ නිලධාරීන් සහ නාවිකයන් පුහුණු කිරීමේ ආයතනයන්ගේ කාර්යයභාරය, ප්‍රගතිය සහ ගැටළු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

තවද, මෙම සාකච්ඡාව සඳහා නාවික හමුදා පුහුණු ආයතන ඇතුළු ගොඩබිම් ආයතනයන්ගේ අණදෙන නිලධාරීන් සහභාගීව සිටි අතර, වාර්ෂිකව පැවැත්වෙණ මෙම විශේෂ සාකච්ඡාව මඟින් නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රායට අනුකූලව, නෞකා බළඇණිය, බලකා සහ අනෙකුත් ඒකකයන්ගේ මෙහෙයුම් සුදානම අඛණ්ඩව පවත්වා ගැනීම, නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.