ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව සමුද්‍රීය මෙහෙයුම් විශිෂ්ඨත්වය විදහාපාමින් පැවැත්වූ ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025 (TRINEX - 25) සාර්ථකව නිමාවට පත්වෙයි

‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025’ (TRINEX - 25) 2025 ජූලි මස 22 සිට 26 දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික විධාන මුහුදු තීරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්වුණු අතර, අභ්‍යාසයේ සමාප්ති අවස්ථාව 2025 ජුලි මස 27 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ දී පැවැත්විණි.

ජාතික සමුද්‍රීය අභිලාශය සාක්‍ෂාත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකරනු ලබන පුළුල් පරාසයක ආවේක්‍ෂණ කටයුතු හා මෙහෙයුම්, ගුවන් හමුදාව සමඟ එකාබද්ධ ප්‍රවේශයකින් සිදුකිරීමේදී අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමත්, නාවික හමුදා නෞකා බලඇණිය ජාත්‍යන්තර සමුද්‍රීය අභ්‍යාස සඳහා සහභාගිවීමේදී අවශ්‍ය ශිල්පීය දැනුම, වෘත්තීයභාවය සහ හැකියාවන් වර්ධනය කිරීමත් අරමුණු කරගනිමින් මෙම අභ්‍යාසය නාවික හමුදාව විසින් වාර්ශිකව සංවිධානය කරණු ලබයි. මෙවර අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා, නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වේග ප්‍රහාරක යාත්‍රා, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය, මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා එක්විය.

කලාපීය සමුද්‍රීය ස්ථාවරත්වය සඳහා නාවික හමුදාවේ උපායමාර්ගික සූදානම සහ කැපවීම පිළිබිඹු කෙරෙමින් පැවැත්වුණු මෙම නාවික අභ්‍යාසය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් අධීක්‍ෂණය කිරීම 2025 ජූලි මස 25 සහ 26 දෙදින ගජබාහු නෞකාවේ සිට සිදුකෙරිණි. මෙම අභ්‍යාසයේ මුහුදු අදියරේදී, නෞකා හැසිරවීම ඇතුළු විවිධ නාවික අභ්‍යාසය (MISCEX), මුහුද මතුපිට ඉලක්ක වෙත වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාසය (SUFTX), නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීමේ අභ්‍යාසය (SCREENEX), මුහුදේදී ගුවනින් භාණ්ඩ හුවමාරුව (VERTREP), මුහුදේදී නෞකා අතර විදුලි ආලෝක දැල්වීම මඟින් පණිවිඩ හුවමාරුව (FLASHEX), අවි හැසිරවීමේ අභ්‍යාසය (GUNNEX), මුහුදේදී නෞකා පරීක්‍ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස/ මුහුදේදී ගුවනින් නෞකා පරීක්‍ෂා කිරීමේ හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (VBSS/ HVBSS), නෞකා මතට හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාස, සෙවීම් හා මුදා ගැනීමේ අභ්‍යාස (SAREX) සහ තුවාලකරුවන් ප්‍රථමාධාර සඳහා ඉවත් කිරීමේ අභ්‍යාස (CASEVAC) ඇතුළු අභ්‍යාස සිදුකිරීමෙන් අනතුරුව, 2025 ජූලි මස 26 වන දින නෞකා බලඇණිය මඟින් නැව්පති වෙත පිරිනැමෙන සාම්ප්‍රදායික ආචාරයෙන් (Steam Past) පසුව ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025’ මෙලෙස සාර්ථකව නිමාවට පත් විය.

ඒ අනුව, 2025 ජුලි මස 27 වැනි දින ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසයේ අවසානය සනිටුහන් කරමින් පැවැත්වුණු සමාප්ති අවස්ථාවේ, මෙම ඒකාබද්ධ අභ්‍යාසය සඳහා සහභාගිවූ නාවික හමුදා නෞකා බලඇණිය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝනය, මැරීන් බළකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් අමතමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, වෙනස්වන ආරක්‍ෂක වාතාවරණය හමුවේ සමුද්‍රීය කලාපය ඔස්සේ පැනනගින ඕනෑම අභියොගයක් සඳහා සාර්ථකව ප්‍රථිචාර දැක්වීම සඳහා අවශ්‍ය මෙහෙයුම් සූදානම, අනෙකුත් පාර්ශවයන් අතර සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා මෙවැනි අභ්‍යාස තුළින් මහඟු දායකත්වයක් ගෙන දෙන බව පවසන ලදි. ජාතික සමුද්‍රීය අභිලාශය සාක්‍ෂාත් කර ගැනීම සඳහා නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රායට අනුකූලව උපායමාර්ගික සූදානම වැඩිදියුණු කල යුතු ආකාරය පිළිබඳ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, අභ්‍යාසය සඳහා සහභාගී වූ නාවික හමුදා නෞකා බලඇණිය, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය, විශේෂ යාත්‍රා බලඝණය, මැරීන් බළකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 3 සමුද්‍රීය බළඝණය, අංක 4 හා අංක 7 හෙලිකොප්ටර් බළඝණය වෙත ප්‍රශංසාව පලකරමින් සමරු තිළිණ ලබා දීමද සිදු කෙරිණි.

තවද, මෙම අවස්ථාවට සමඟාමීව, නාවික හමුදා නෞකා බලඇණියේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා නාවික හමුදා දියත් විධානය විසින් පසුගිය 2024 වර්ෂයේදී සංවිධානය කල හොඳම නෞකාව/ යාත්‍රාව තේරීමේ තරඟයෙන් ජයග්‍රහණය කල නෞකා හා යාත්‍රා වෙත සම්මාන පිරිනැමීම ද නාවික හමුදාධිපති විසින් සිදු කෙරුණු අතර, එහිදී හොඳම විශාල නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවද, හොඳම කුඩා නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා උදාර නෞකාව සහ හොඳම යාත්‍රාව ලෙස පී 423 ‍වේග ප්‍රහාරක යාත්‍රාව නාවික හමුදාධිපතිගේ සම්මානයට පාත්‍ර විය.