“ක්ලීන් ශ්‍රී ලංකා පාපැදි සවාරිය” සඳහා නාවික හමුදාවද එක්වෙයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ජනතාව හුරුකරවීම හා ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම යන අරමුණ ඇතිව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සතිය 2025 ජුලි මස 26 වැනි දින ආරම්භවූ අතර, එයට සමඟාමීව එදින එහි පළමු අදියර ලෙස ක්ලීන් ශ්‍රී ලංකා පාපැදි සවාරිය සාර්ථකව පැවැත්විණි.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ රජයේ ප්‍රතිපත්තියෙහි මූලික තේමාවක් වන ‘නිරෝගී ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්’ බිහි කිරීම උදෙසා වූ වැඩ පිළිවෙල යටතේ ජනතාව සෞඛ්‍ය සම්පන්න ශාරීරික ක්‍රියාකාරකම් සඳහා දිරිමත් කිරීම අරමුණු කොට, ගරු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාපැදි සවාරිය සඳහා, එක්දහස් දෙසීයක (1200) පමණ පිරිසක‍් සහභාගී විය. නාවික හමුදා සාමාජිකයන් තුල පවතින ක්‍රීඩාශීලීත්වය සහ යහපත් ශාරීරික සෞඛ්‍ය සම්බන්ධයෙන් දක්වන උනන්දුව ප්‍රදර්ශණය කිරීම තුලින් ප්‍රජාව අභිප්‍රේරණය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා පුද්ගලයින් අසූ පහකට (85) වඩා වැඩි පිරිසක් සහභාගී විය.

මෙම පාපැදි සවාරිය ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් ආරම්භ වී කිලෝ මීටර් සියයක (100) සම්පූර්ණ දුර ප්‍රමාණයක් පසුකර නිදහස් චතුරශ්‍රය වෙත ලඟා වී සාර්ථකව නිමාවට පත් කෙරිණි. තවද, මේ සඳහා සහභාගී වූ සියළුම තරඟකරුවන්ට සහතිකපත් ප්‍රධානය කිරී‍මද මෙහිදී සිදුකෙරිණි.