නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මංජුල දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් මංජුල දිසානායක අද (2025 අගෝස්තු 02) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වැනි උපන්දිනය යෙදී තිබූ රියර් අද්මිරාල් මංජුල දිසානායක වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කිරීම සිදු කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් මංජුල දිසානායක වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.
1991 වසරේදී 21 වැනි ශිෂ්‍යභට බඳවාගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් මංජුල දිසානායක, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ කපිතාන් සැපයුම් හා සේවා (උතුරු මැද), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික (වැටුප්), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (විදේශීය මිළදී ගැනීම්), කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා (බටහිර), අධ්‍යක්‍ෂ නාවික (සැපයුම් හා සේවා) සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් (අයවැය හා මුදල්) යන ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කර ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.