නාවික හමුදාව මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වය ඇතිව, ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕලුකරඳ ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) 2025 අගෝස්තු මස 13 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

එමෙන්ම, මෙම ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1120ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, එක් ජල පිරිපහදු මධ්‍යස්ථානයකින් දිනකට ජල ලීටර් 10000ක පමණ ප්‍රමාණයක් පිරිපහදු කිරීමේ හැකියාව ඇත. මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, ඕලුකරඳ ග්‍රාමය ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, රජය මගින් ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යපෘතියට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම සමාජ සත්කාරය සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායක වෙයි.