ශ්‍රී ලංකා - ඉන්දියා ද්විපාර්ශවික නාවික අභ්‍යාසයේ මුහුදු අධියර ආරම්භ වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශවික නාවික අභ්‍යාසයේ (SLINEX - 25) මුහුදු අධියර, අද (2025 අගෝස්තු 17) කොළඹට ඔබ්බෙන්, ලංකාවට බටහිරින් වූ මුහුදු තීරයේදී ආරම්භ විය.
ඒ අනුව, දෙරටේ නාවික හමුදා අතර මෙහෙයුම් ඒකාබද්ධතාවය වැඩිදියුණු කිරීම, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි, නව දැනුම හා හැකියාවන් හුවමාරු කර ගැනීම සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ අරමුණෙන් පැවැත්වෙන SLINEX 25 අභ්‍යාසයේ මුහුදු අදියර සඳහා, ඉන්දීය නාවික හමුදාවේ Tanker වර්ගයේ ‘INS Jyoti’ හා Destroyer වර්ගයේ ‘INS Rana’ යන යුද නෞකා ද්විත්වය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු හා සයුර යන ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා සහභාගි වේ.
අද (2025 අගෝස්තු 17) සහ හෙට (2025 අගෝස්තු 18) දෙදින පැවැත්වෙන මෙම අභ්‍යාසයේ මුහුදු අදියරෙහිදී; නෞකා හැසිරවීම ඇතුළු විවිධ නාවික අභ්‍යාස, නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරීක්ෂා කිරීම සඳහා නෞකා වෙත ප්රවිශ්ඨ වීම, සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස, නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීමේ අභ්‍යාස, මුහුදේදී නෞකා අතර විදුලි ආලෝක දැල්වීම මඟින් පණිවිඩ හුවමාරුව, අවි හැසිරවීමේ අභ්‍යාස, මුහුදේදී ගුවනින් භාණ්ඩ හුවමාරුව සහ මුහුදේදී නෞකා වෙත ඉන්ධන ලබා දීම සඳහා නෞකා සූදානම් කිරීම (Abeam/ Astern fuelling approaches) ඇතුළු නාවික අභ්‍යාස සිදුකිරීමට නියමිතව ඇත.
2025 අගෝස්තු මස 14 සිට 16 දක්වා කොළඹ වරාය පරිශ්‍රයේදී පැවති මෙහි වරාය අදියරේදී, අභ්‍යාසයට අදාළව පණිවිඩ හුවමාරු ක්‍රම හා ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව මෙහෙයුම් කණ්ඩායම් දැනුවත් කිරීම, දැනුම හා මෙහෙයුම් අත්දැකීම් හුවමාරු කරගැනීම මෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයෙන් නෞකා මත හෙලිකොප්ටර් යානා හැසිරවීමේදී ගුවන් සේවා සැපයීම සම්බන්ධ මූලික පුහුණුවක් ද සිදුකෙරිණි.
එමෙන්ම, මෙම අභ්‍යාසයේ වරාය අදියරේදී දෙරටේ නාවික හමුදා සාමාජිකයන් අතර පුහුණු හුවමාරු වැඩසටහන්, ක්‍රීඩා වැඩසටහන් සහ යෝගා වැඩසටහන් ද සාර්ථකව සිදුකෙරුණු අතර, පාසැල් දූ දරුවන් වෙත ඉන්දීය නාවික හමුදා නෞකාවන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සඳහාද අවස්ථාව උදාවිය.
තවද, මෙවැනි ඒකාබද්ද නාවික අභ්‍යාස තුලින් වැඩිදියුණු වන සහයෝගීත්වය, යහපත් අන්තර් ක්‍රියාකාරීත්වය, නව දැනුම, කුසලතා සහ හැකියාවන්, ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉදිරියේදී ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග වෙත සාමූහිකව ප්‍රතිචාර දැක්වීම සඳහා මහඟු පිටිවහලක් වනු ඇත.