‘Commandant’s Cup Sailing Regatta - 2025’ ත්‍රීකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේදී ආරම්භ වෙයි
ක්‍රීඩාවෙන් ගොඩනැගෙන ජාත්‍යන්තර සබඳතා තුළින්, නාවික ශිල්පයේ විශිෂ්ඨත්වය සහ විදේශීය මිත්‍ර රාජ්‍යයන්ගේ නාවික හමුදා අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් පස්වන වරට (05) සංවිධානය කරනු ලබන, ‘Commandant’s Cup Sailing Regatta - 2025’ රුවල් යාත්‍රා තරඟාවලිය, දේශිය හා විදේශීය පුහුණුවන නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, 2025 අගෝස්තු මස 20 දින ත්‍රීකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේදී ආරම්භ විය.
තරඟාවලියේ සමාරම්භය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු දිනේෂ් බණ්ඩාරගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ උපදෙස් හා මඟපෙන්වීම මත, ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා මෙවර ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, ඉතාලිය, ඕමානය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් අටක (08) නාවික හමුදා විද්‍යාපීඨ නියෝජනය කරමින්, පුහුණුවන නිලධාරින් සහභාගී වේ.
තවද, ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka - YASL) අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරඟාවලිය, Enterprise සහ Laser යන කාණ්ඩ යටතේ 2025 අගෝස්තු මස 21 සිට 23 දක්වා පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇති අතර, මෙම තරඟාවලිය වාර්ශිකව සංවිධානය කිරිම මඟින්, ක්‍රීඩාව තුලින් විදේශීය සබඳතා ශක්තිමත් කිරීමට සමඟාමීව, දිවයිනේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීම සහ ඒ සඳහා සංචාරක ආකර්ෂණය දිනා ගැනීමද, නාවික හමුදාව අපේක්ෂා කෙරේ.