පස්වන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2025’ තරඟාවලිය රටවල් අටක සභභාගීත්වයෙන් ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් පස්වන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2025’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2025 අගෝස්තු මස 20 වැනි දින සිට දින හතරක් (04) ත්‍රීකුණාමලය, Sandy Bay මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරඟාවලියේ ජයග්‍රාහකයන් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම, 2025 අගෝස්තු 23 දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka - YASL) අධීක්‍ෂණය යටතේ පැවති මෙම තරඟාවලියේ Cup Championship තරඟ ඉසවුව යටතේ Laser, Enterprise සහ Open Championship වශයෙන් කාණ්ඩ තුනක් (03) යටතේ පැවැත්වුණු මෙම තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, ඉතාලිය, ඕමානය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් අටක (08) නාවික හමුදා විද්‍යාපීඨ නියෝජනය කරමින් නිලධාරීන් සහ පුහුණුවන නිලධාරීන් ඇතුළු තරඟ කරුවන් තිස්තුන් දෙනෙකු (33) සහභාගී විය.

තරඟාවලියේ විශේෂිතම අංගය වන Cup Championship කාණ්ඩයේ පළමු ස්ථානය ඉන්දියානු නාවික විද්‍යාපීඨ කණ්ඩායම විසින් දිනා ගන්නා ලද අතර, එම කාණ්ඩයේ දෙවන ස්ථානය පකිස්තානු නාවික විද්‍යාපීඨ කණ්ඩායම විසින් සහ එම කාණ්ඩයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත් විය.

Laser (ILCA 6) කාණ්ඩයේ පළමු ස්ථානය ඉරාන නාවික විද්‍යාපීඨයේ ශිෂ්‍ය භට නිලධාරී Ali Fazeli Najafabadi විසින්ද, එම කාණ්ඩයේ දෙවන ස්ථානය ඉන්දියානු නාවික විද්‍යාපීඨයේ ශිෂ්‍ය භට නිලධාරී Indushankar Vardanik විසින් සහ එම කාණ්ඩයේ තෙවන ස්ථානය ස්ථානය ඕස්ට්‍රේලියා නාවික විද්‍යාපීඨයේ මධ්‍ය නිලධාරී Maddison Mandy Markey විසින් දිනා ගැනීමට සමත් විය.

Enterprise කාණ්ඩයේ පළමු ස්ථානය පකිස්ථානු නාවික විද්‍යාපීඨයේ Syed Sakhir Ali Shah සහ Muhammad Shaaf Afzal යන ශිෂ්‍ය භට නිලධාරීන් විසින් දිනා ගන්නා ලදී. එම කාණ්ඩයේ දෙවන ස්ථානය ඉන්දියානු නාවික විද්‍යාපීඨයේ Himanshu සහ Boddapu Harish යන ශිෂ්‍ය භට නිලධාරීන් විසින් සහ එම කාණ්ඩයේ තෙවන ස්ථානය නාවික හා සාගරික විද්‍යාපීඨයේ HMKM Bandara සහ RPDS Theekshana යන ශිෂ්‍ය භට නිලධාරීන් විසින් දිනා ගැනීමට සමත් විය.

Open Championship කාණ්ඩයේ පළමු ස්ථානය ඉරාන නාවික හමුදාවේ මධ්‍ය නිලධරී Mohammad Navidi විසින්ද, දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් දිනිදු ද සොයිසා විසින් සහ තෙවන ස්ථානය ලුතිනන් දමේෂ් පියමාල් විසින් දිනා ගැනීමට සමත් විය.

එහිදී, තරඟාවලියේ සමාප්ති උළෙල අමතිමින් නාවික හමුදාධිපති විසින් මෙම තරඟාවලිය සඳහා විදේශීය නාවික විද්‍යාපීඨ නියෝජනය කරමින් සහ නාවික හා සාගරික විද්‍යාපීඨය නියෝජනය කරමින් සහභාගී වූ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත, තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා උද්යෝගීමත්ව සහභාගීවීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සිය සුභ පැතුම් පිරිනමන ලදී. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, රුවල් යාත්‍රා තරඟාවලිය යනු හුදෙක් තරඟාවලියක් පමණක් නොව, සහභාගීවන්නන් තුළ වෘත්තීයභාවය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සමුද්‍රීය විශිෂ්ටත්වය ඇතිකරවනු ලබන සුවිශේෂී ක්‍රියාකාරකමක්‌ වන බව පවසන ලදී. මෙම තරඟාවලිය කෙරෙහි බොහෝ රාජ්‍යයන් ඉතා යහපත් ප්‍රතිචාර දක්වමින්, විදේශීය නාවික විද්‍යා පීඨයන්ගේ පුහුණුවන නිලධාරීන් මෙම තරඟාවලිය සඳහා සහභාගි කරවීම ඉතාමත් අගය කොට සලකන බව පැවසූ එතුමන්, මෙම ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ලබාගැනීම සඳහා වැඩි විදෙස් සහභාගීත්වයක් ඊළඟ තරඟාවලිය සඳහා අපේක්ෂා කරනු ලබන බවත් පවසන ලදී.

මෙම තරඟාවලිය වාර්ශිකව සංවිධානය කිරිම මඟින්, ක්‍රීඩාව තුලින් විදේශීය සබඳතා ශක්තිමත් කිරීමට සමඟාමීව, දිවයිනේ ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීම සහ ඒ සඳහා සංචාරක ආකර්ෂණය දිනා ගැනීමද, නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා ඇතුළු එම විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්, විදේශීය නාවික විද්‍යාපීඨයන් ගේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා රුවල් යාත්‍රා සංගමයේ (Yachting Association of Sri Lanka - YASL) සාමාජිකයන්, නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ සාමාජිකයන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගීවී සිටියහ.