නාවික හමුදාවෙන් 1123 වෙනි ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු පද්ධතිය ජනතා අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, අනුරාධපුර දිස්ත්‍රීක්කයේ නුවරගම් පලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 303 - කරඹෑව ග්‍රාමයේ ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය (01) ජනතා අයිතියට පත්කිරීම, 2025 අගෝස්තු මස 26 වැනි දින සිදුකෙරිණි.

එමෙන්ම, මෙම ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් සමඟ, නාවික හමුදාව මඟින් ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 1123ක් ජනතා අයිතියට පත් කර ඇති අතර, එක් ජල පිරිපහදු මධ්‍යස්ථානයකින් දිනකට ජල ලීටර් 10000ක පමණ ප්‍රමාණයක් පිරිපහදු කිරීමේ හැකියාව ඇත. මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, 303 - කරඹෑව ග්‍රාමය ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යපෘතියට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම සමාජ සත්කාරය සඳහා ඉදිරියටත් අඛණ්ඩව දායක වෙයි.