ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීම සඳහා නාවික හමුදාව සහ යාපනයේ ධිවර ප්‍රජාව පෙරමුණ ගනියි
ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු පළාතේ ධීවර කටයුතු ආශ්‍රිත ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් මස 09 වැනි දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, විධාන මූලස්ථානයේදී, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී, දේශීය ධීවරයින් මුහුණ දෙන අභියෝග, නියාමන අංශ, නීති විරෝධී ධීවර පිළිවෙත්, ජාවාරම් සහ සමුද්‍ර සම්පත් ආරක්‍ෂා කිරීම සඳහා තිරසාර ධීවර පන්න ක්‍රම භාවිතයේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, ආරක්‍ෂිත සහ ඵලදායී ධීවර පරිසරයක් සහතික කිරීම සඳහා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ධීවර සමිති අතර සමීප සහයෝගීතාවයේ ඇති වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.
තවද, මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා උතුරු නාවික විධානයේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යාපනයේ වැඩ බලන ධීවර අධ්‍යක්‍ෂක හා ධීවර පරීක්‍ෂකවරුන් සහ ධීවර සංගම් සභාපතිවරුන් ඇතුළු උතුරු පළාතේ ධීවර සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ.