ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුර 2025 ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2025 වාර්ෂික පුහුණු කඳවුරේ සාමාරම්භය, 2025 සැප්තැම්බර් මස 15 වැනි දින ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් අනුර කරුණාරත්නගේ ආරාධනයෙන්, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් එච්එන්එස් පෙරේරාගේ ප්‍රධානත්වයෙන්, වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

ස්වේච්ඡා නාවික හමුදාවට අයත් නිලධාරීන් සහ නාවිකයන්ගේ වෘත්තීමය හැකියාව සහ දැනුම වර්ධනය කිරීම ‍උදෙසා වාර්ෂිකව පැවැත්වෙන මෙම පුහුණු කඳවුර සඳහා මෙවර (2025) නිලධාරීන් 50 ක් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 493 ක් ඇතුළුව ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයන් 543 දෙනෙකු සහභාගී වේ.

මෙම වාර්ෂික පුහුණු කඳවුර 2025 ඔක්තෝබර් මස 02 වැනි දින දක්වා පැවැත්වෙන අතර, එදින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් සිදුකරනු ලබන ස්වේච්ඡා නාවික හමුදාවේ අංශ පිරික්‍ෂුම සහ ආචාර පෙළපාලියෙන් පසු වාර්ෂික පුහුණු කඳවුර නිමාවට පත්වීමට නියමිතව ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් දෙලන්ක චන්ද්‍රසේන ඇතුළු ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයට අයත් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, වාර්ෂික පුහුණු කඳවුරට සහභාගී වන පුහුණුවන නිලධාරීන් සහ පුහුණුවන ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයන් සහභාගී වී සිටියහ.