නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවති ‘Junior Officer’s Conclave – 2025’ වැඩසටහන සාර්ථකව නිමාවට පත්වෙයි
නැව්පති සහ නාවික හමුදා දියත් විධානයේ කණිෂ්ඨ නිලධාරීන් අතර සිදුකෙරුණු විශේෂ සාකච්ඡාමය වැඩසටහන ‘Junior Officer’s Conclave – 2025’, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 14 වැනි දින, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
ඒ අනුව, නාවික හමුදාධිපතිගේ සංකල්පයකට අනුව ප්‍රථම වරට පැවැත්වුනු මෙම ‘Junior Officer’s Conclave – 2025’ වැඩසටහන මඟින්, සමුද්‍රීය ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව දේශීය ජල තීරයේ සිට ජාත්‍යන්තර සාගරය දක්වා සිදුකරණු ලබන මෙහෙයුම්, වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායීව සිදුකිරීම වෙනුවෙන් කණිෂ්ඨ නිලධාරීන්ගේ දායකත්වය සහ භූමිකාව අවධාරනය කිරීම සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, තරුණ නිලධාරින් සෑම විටම තම නිවැරදී මතය වෙනුවෙන් පෙනී සිටීමත් පැවරෙන ඕනෑම කාර්යයක් ආරම්භ කිරීමට පෙර එය සාර්ථකව අවසන් කරනු ලබන ආකාරය පිළිබඳව පූර්ව අධ්‍යයනයක නිරත වීම සහ අභියෝග හමුවේ නොසැලී අවබෝධයෙන් යුතුව ඉදිරියට ගමන් කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් අදහස් දක්වන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති නාවික මෙහෙයුම් සම්බන්ධයෙන්; උපායික, මෙහෙයුම් සහ උපායමාර්ගික මට්ටමෙන් තීන්දු හා තීරණ ගැනීමේදී ඒ සඳහා කණිෂ්ඨ නිලධාරීන්ද දායක කර ගැනීමේන්, මෙහෙයුම් පරිසරය පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුතුව කණිෂ්ඨ නිලධාරීන් හට ස්වකීය භූමිකාව සාර්ථකව ඉටුකිරීම සඳහා ඔවුන් තුළ ඉතා හොඳ ආත්ම විශ්වාසයක් ගොඩනැගෙන බව පවසන ලදි. කණිෂ්ඨ නිලධාරීන් හට පැවරෙන ඕනෑම රාජකාරියකදී, එය සාර්ථකව අවසන් කිරීම සඳහා නිවැරදි නායකත්වය සහ විනය සහිතව සැම විටම උපරිම ශක්ති ප්‍රමාණයෙන් කැපවිමත්, තම කණ්ඩායම ඒ සඳහා මෙහෙයවීමත් මඟින්, වෘත්තීය විශිෂ්ඨත්වය ලඟාකර ගතහැකි බව එහිදී නාවික හමුදාධිපති විසින් වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
තවද, සන්නිවේදන, පුහුණු කටයුතු, මෙහෙයුම් පරිසරය සහ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳ පුළුල්ව හා සෘජු ප්‍රවේශයකින් නැව්පති සමඟ සාකච්ඡා කිරීම සඳහා දියත් විධානයේ කණිෂ්ඨ නිලධාරීන් හට ඉතා හොඳ අවස්ථාවක් ගෙනදුන් මෙම ‘Junior Officer’s Conclave – 2025’ වැඩසටහන සඳහා, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ, නැගෙනහිර නාවික විධානයේ සහ දියත් විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.