නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රුවන් කළුබොවිල පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල 2025 අගෝස්තු මස 28 වැනි දින සිට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය 2025 සැප්තැම්බර් මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල වෙත නිල වශයෙන් ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

කොළඹ, ඩීඑස් සේනානායක විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් රුවන් කළුබොවිල, 1991 වර්ෂයේදී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සැපයුම් හා සේවා අංශයට එක්වී ඇත. ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1993 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්වන ඔහු, උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1995 වර්ෂයේදී නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව හදාරා, සැපයුම් කළමනාකරණ පාඨමාලාව 2007 වර්ෂයේදි ඉන්දීය නාවික නෞකා හම්ලා සැපයුම් හා සේවා පුහුණු පාසලෙන් හදාරා ඇත. ඉන්දියාවේ ගොආ විශ්වවිද්‍යාලයෙන් සැපයුම් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර, සිය වෘත්තීය ජීවිතයේ ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ඔහු, 2024 වර්ෂයේ ජනවාරි මස රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

අගනා සේවය, නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් රුවන් කළුබොවිල, සිය වසර 34ක ‍සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ; කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා (උතුර), අධ්‍යක්‍ෂ නාවික සැපයුම් හා සේවා, නාවික හමුදාධිපතිගේ ලේකම් හා නාවික ලේකම් සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා වැනි ප්‍රමුඛ නිලතල දරා ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

තවද, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා ලෙස එම ධුරයෙහි කටයුතු සිදුකරන අතරතුර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරයෙහි රාජකාරීන් ඉදිරියට සිදුකරනු ඇත.