EX – HIGHLANDER මැරීන් අභ්‍යාසය නුවරඑළිය බෝපත්තලාවේදී සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකාය විසින් සංවිධානය කරන ලද කඳු ආශ්‍රිත විඳදරා ගැනීමේ Ex – Highlander අභ්‍යාසය, 2025 සැප්තැම්බර් මස 12 සිට 14 දක්වා නුවරඑළිය බෝපත්තලාව ප්‍රදේශයේ හරිත කන්ද ආශ්‍රිතව සාර්ථකව පැවැත්විණි.

මැරීන් භටයින්ගේ භූමිය පිළිබඳ විශ්ලේෂණීය අවබෝධය ඇති කිරීම සහ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් සිදුකිරීම පිළිබඳ ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම Ex – Highlander අභ්‍යාසය සංවිධානය කෙරිණි.

ඒ අනුව, තෙදිනක් (03) පුරා පැවති මෙම අභ්‍යාසයේ දී විඳදරාගැනීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා සමඟාමීව නායකත්ව හා කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ අන්තර් ක්‍රියාකාරී සැසි තුලින් මැරීන් බලකා සාමාජිකයින්ගේ දැනුම, කුසලතා සහ ධනාත්මක ආකල්ප ගොඩනැගීම සාර්ථකව සිදුකෙරිණි.

තවද, මෙම අභ්‍යාසය සඳහා නාවික හමුදා මැරීන් බලකායේ අධ්‍යක්‍ෂ, කොමදෝරු රොහාන් දිසානායක සහ පලමු වන මැරීන් බලඇණියේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් සුචරිත වීරතුංග ඇතුළු මැරීන් බලකායේ නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.